ගෑස්වලට වඩා දර දීර්ඝ ආයුෂ වඩවයි : සරත්ගේ විහිලු සහගත සොයාගැනීමක් !

ගෑස්වලට වඩා දර දීර්ඝ ආයුෂ වඩවයි : සරත්ගේ  විහිලු සහගත  සොයාගැනීමක් !

නවීන, පිරිසිදු බලශක්ති භාවිත කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ බව  පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූනි 7) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

නවීන, පිරිසිදු බලශක්ති පරිහරණය කරන රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80ක් පමණ වන බව ත් දර භාවිත කරන මෙරට කාන්තාවගේ ආයු කාලය වසර 80.1ක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, දර භාවිතය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව ය.

“නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි. නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි.”

එබැවින් දර සැපයුම සහ භාවිතය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

රටේ ස්වෛරීභාවයට මෙන් ම බලශක්ති ආහාර සුරක්ෂිතතාවට දර භාවිතය ප්‍රධාන සාධකයක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් පරිසරවේදින් පවසන්නේ මන්ත්‍රීවරයා ගේ අදහස් දැක්වීම හුදු හිතළුවක් මිස කිසිදු  විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.

දර භාවිතය හේතුවෙන් ස්වසනාබාධ මෙන්ම පරිසරයේ වායු දූෂණය ඉහළ යන බවත් එය විද්‍යාත්මක ලෙස තහවුරු කළ සහ තහවුරු කළ හැකි කරුණක් බවත් පරිසරවේදින් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න