ආර්ථිකය කඩා වැටුණේ ආනයන නවත්වපු නිසා - මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් !

ආර්ථිකය කඩා වැටුණේ ආනයන නවත්වපු නිසා - මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් !

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල පවසා ඇත .

නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති 2019 වර්ෂයේ දී වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන්නේ යැයිද ඔහු සඳහන් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආටිගල මෙසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (9)පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2019 වර්ෂයේ දෙසැම්බර් 04 වන දින ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම තීරණය ගත් බවද ඔහු පවසා ඇත .

මෙම රැස්වීමට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ද මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ එම බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක්ද කැඳවනු ලැබ සිටියහ.

කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමී පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු හෙයින් එහි සම්පුරණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බව මුදල් කාරක සභාවේ සමාජිකයන් මෙහිදී පෙන්වා දී ඇත.

යම් යම් නොවැලක්විය හැකි තත්වයන් තිබුණු බව පිළිගත හැකි වුවද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිසි අධ්‍යනයකින් මෙවැනි තීරණ ගත යුතුව තිබු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයින් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්වය මතු වීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මුල්‍යමය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතු විය හැකි ගැටලුකාරී තත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවෙකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා වෙතද යොමු කරනු ලබන බවයි.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් නැවතත් විමසා සිටියේ, ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාවේදී ,ඒවා නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වාදීමට හා දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවයි.

දේශපාලඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනා ගත යුතු බව පැවසූ වීරසිංහ මහතා දේශපාලඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවද සඳහන් කර ඇත .

එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා වගකිව යුතු වන්නේ දේශපාලඥයන් පමණක් නොවන බවද ඔහු සඳහන් කර ඇත .

රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව ආර්ථිකය බිඳ වැටෙනතුරුම ඒ ගැන තමන් දැනුවත් නොවූ බව සහ දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි සමහරුන් පැවසීම අනුමත කළ නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මෙම කාරකසභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුවේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල පිලිබඳව විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවකු ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.

එහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන පැවසුවේ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය කිසිඳු හේතුවක් නොමැතිව ඉවත් කිරීම මගින් ගැටළු රාශියක් ඇතිවූ බවත් 12.5 ක්ව තිබු රාජ්‍ය ආදායම මෙලෙස බදු කපා හැරීමෙන් 8.7 ට අඩුවූ බවත්ය.

එසේම මහ බැංකුවේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය වැඩි කර ගනිමින් නිසි සන්නිවේදනයක් සහිතව තීරණ ගතයුතු බවද කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් මෙම සාකච්ඡාව නැවතත් එළඹෙන 17 වැනිදා පවත්වන බවද ප්‍රකාශ කෙරිණ.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , නාලක ගොඩහේවා , එම්. ඒ. සුමන්තිරන් , මුජිබර් රහුමාන් , සුරේන් රාඝවන් , ගාමිණී වලේබොඩ , කංචන විජේසේකර , අනුප පස්කුවල් , විජිත හේරත් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , , ඉසුරු දොඩංගොඩ , රංජිත් බණ්ඩාර , නලින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගිව ඇත .

මූලාශ්‍රය lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න