Language Switcher

V2025

ටෙන්ඩර් ක්‍රියාවලියට ලිට්‍රෝ විරුද්ධයි? යළි ගිවිසුම බිලියන ගණන් කොමිස් යන සමාගමක් සමග !

?ටෙන්ඩර් ක්‍රියාවලියට ලිට්‍රෝ විරුද්ධයි? බිලියන ගණන් කොමිස් යන සමාගමක් සමග යළිත් ගිවිසුම්!

?තාමත් රු.2500 ක් ගෑස් එකකින් පාඩුයි, ලිට්‍රෝ බංකොලොත් !

ඊයේ (12) දිනයේ ලිට්රෝ ආයතනයේ සේවක පිරිසක් විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරණ කලමනාකරු වන පියල් කොළඹහෙට්ටිගේ ප්‍රකාශ කර සිටියේ ආයතනය පාලනය කළ සභාපතිවරුන්ගෙ අදූරදර්ශී කලමනාකාරීත්වය හේතුවෙන් ලිට්රෝ සමාගම අදවන විට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බවයි.

වැඩි කල යුතුව තිබූ ගෑස් මිල වැඩි නොකර සිටීම නිසා මේ වන විට කිලෝග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් ආයතනයට වන පාඩුව රුපියල් 2500 ක් පමණ වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

දැන් පවතින මිල රුපියල් 4,875ක් බැවින් ඔහුට අනුව එහි මිල රු.7,375 ක් විය යුතුය. ඔහු ප්‍රකාශ කරන අයුරින් ලිට්රෝ සමාගමෙහි අධ්‍යක්ෂවරුන් ඇතුළු සේවකයින් කිහිපවරක්ම පෙර සිටි සභාපතිවරයෙක් වන තෙෂාර ජයසිංහ හට මේ පිළිබඳව ඉල්ලීම් සිදු කළද ඔහු විසින් එයට අවශ්‍ය පියවර නොගනිමින් ජනතාව අතර ප්‍රසිද්ධ වීම උදෙසා මිල සංශෝධනයක් නොකළ බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.

ඕමාන් ට්‍රේඩින් තරහ කරගත්ත එක ලොකුම වරද !

ආසියානු කලාපයේ හොඳම ගෑස් සැපයුම්කරු වන ඕමාන් ට්‍රේඩින් ගෑස් සමාගම සමග ගිවිසුම දීර්ඝ නොකර ටෙන්ඩර් පටිපාටියකට ගොස් ඔවුන්ව අමනාප කරගත් නිසා මෙම ගෑස් අර්බුදය හටගෙන ඇති බව කියා සිටි පියල් කොළඹහෙට්ටිගේ, "අපට ඇත්තේ ඩොලර් අර්බුධයක් නොව, කලමනාකාරීත්වයේ ප්‍රශ්නයක්" බව ප්‍රකාශ කර සිටියේ ය.

එබැවින් පළපුරුදු අත්දැකීම් බහුල නායකත්වයක් අවශ්‍ය බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ "අපට දැනගන්නට ලැබුණා ගරු අගමැතිතුමාගේ සහ සාගල රත්නායක මැතිතුමාගේ ආශිර්වාදයෙන් පෙර සිටි මුදිත පීරිස් මහතා ලිට්රෝ සභාපති ලෙස පත්කිරීමට නියමිත බව, එය එසේ නම් අපි ඉතා කැමැත්තෙන් ඔහුගේ ආගමනය අපේක්ෂාවෙන් සිටිනවා" ලෙසය.

පියල්ගේ ප්‍රකාශයෙන් ලිට්‍රෝ අභ්‍යන්තර ගැටුමක්.. ලිට්‍රෝ සුරකිමු මාධ්‍ය හමුව වර්ජනය කරයි !

ලිට්රෝ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව මෙම මාධ්‍ය හමුව පියල් කොළඹහෙට්ටිගේ කැඳවා ඇත්තේ එහි අසුන් ගත් අනෙක් සේවකයින් හට තමන් මෙවන් අදහසක් ප්‍රකාශ කරන බව නොදන්වා ය.

එසේම එය ලිට්රෝ අලෙවි හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ජනක පතිරත්නගේ වුවමනාව මත, හිටපු කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු යළි ලිට්රෝ මුල් පුටුවට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට බල කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දියත් වූවක් ලෙසයි අප දැනුවත් වූයේ. ඊයේ දිනය ඉරිදා දිනයක් වන අතර, අලෙවි අංශයේ නිලධාරිනියකගේ විශ්‍රාම යාමේ උත්සවයට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මේ කිසිත් නොදැන මාධ්‍ය හමුවේ අසුන් ගෙන ඇති අතර මාධ්‍ය හමුවෙන් පසු පියල් කොළඹහෙට්ටිගේ ප්‍රකාශ කළ කරුණු නිසා එතැන සිටි නිලධාරීන් අතර මතභේදාත්මක උණුසුම් තත්ත්වයක් හටගත් බව එහි සේවකයෙක් අප වෙත පැවසීය.

ලිට්‍රෝ ආයතනයේ ගැටලු වලදී එළි බසින ලිට්‍රෝ සුරකිමු සංවිධානයද මෙම මාධ්‍ය හමුව වර්ජනය කර ඇති අතර එහි සභාපති නලින් සමන්තගෙන් පැමිණි ප්‍රතිචාරය නම් ලිට්‍රෝ සුරකිමු සංවිධානය ලෙස කිසිදු මාධ්‍ය හමුවක් සිදු නොකළ බැවින් මාධ්‍ය තුළ එලෙස සඳහන් වුවවොත් එයට නීතිමය පියවර ගන්නා ලෙසයි.

ගෑස් ටෙන්ඩරය තායිලන්ත සමාගමකට.. ඕමාන් සමාගමට වඩා ඩොලර් 34ක් අඩුයි !

ලිට්රෝ ගෑස් සමාගම 2020 සිට 2022 මුල් කාර්තුව දක්වා ගෑස් ආනයනය සඳහා ගිවිසුම් ගතව තිබුණේ ඕමාන් ට්‍රේඩින් සමාගම සමගයි.

කෙසේ නමුත් එම ගිවිසුම හරහා රුපියල් බිලියන 10 ක් පමණ කොමිස් ලෙස කිසිවෙකුගේ ගිණුමට බැරවෙන බවත්, එක ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 50ක් පමණ අඩුවෙන් ලබාගත හැකි කලාපීය සමාගම් පවතින බවත් හිටපු සභාපතිවරයෙකු වන තෙශාර ජයසිංහ විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන ලද්දේ ඔහු සභාපති ධූරයේ සිටියදීමය.

මේ හේතුවෙන් ඔහු ඕමාන් ට්‍රේඩින් ගෑස් ගිවිසුම දීර්ඝ නොකළ අතර ගෑස් ආනයනය සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇත. ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්වීමට මත්තෙන් තෙශාර ජයසිංහ ලිට්රෝ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූයේ ගෑස් ආනයනය කිරීමේ ගිවිසුම් වලදී තමාට ඉහළ දේශපාලන අධිකාරියෙන් එන දැඩි බලපෑම් මත ඔහු ඉල්ලා අස්වන බව සඳහන් කර ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරය.

ඉන් අනතුරුව විජිත හේරත් සභාපති ලෙස පත්වූ අතර, පෙර පැවති ටෙන්ඩර් පටිපාටිය අවසන් වී අඩුම ලංසුව ලෙස තායිලන්ත සමාගමක් වන සියාම් ගෑස් සමාගම ඉදිරිපත් වූ අතර එහි වරාය හා රක්ෂණ ගාස්තු ලෙස මිල ලබාදී ඇත්තේ ඩොලර් 95කි. සුවිශේෂී කාරණය වන්නේ එම ලංසු තැබීම් වලදී පෙර පැවති ඕමාන් ගෑස් සමාගමේ වරාය හා රක්ෂණ ගාස්තු ලෙස මිල ඩොලර් 129ක් ලෙස ලංසු තබා ඇත. එනම් තෙෂාර ජයසිංහගේ මාෆියා ප්‍රකාශය ඇත්තක් කරමින් ඩොලර් 34ක් අඩුවෙන් ගෑස් ගිවිසුම සඳහා ලන්සු ඉදිරිපත් වී ඇති අතර එයට කැබිනට් අනුමැතිය හිමිවූ බව ද පසුගියදා මාධ්‍යයය සඳහන් කෙරුණි.

අඩු මිල ටෙන්ඩරයට ලිට්රෝ විරුද්ධයි, කලින් තිබ්බ ඕමාන් ගෑස් එක හොඳම සැපයුම්කරු!

නමුත් එකවරම ලිට්රෝ නව සභාපති ලෙස පත්වූ විජිත හේරත් පසුගිය සිකුරාදා දින සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ගෑස් ගිවිසුම සම්බන්ධව ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හමුවේ බව අපට දැනගැනීමට ලැබුණි.

එහිදී අඩු මිලට ලංසු ලැබූ සියාම් ගෑස් තායිලන්ත සමාගම ඉවත් කර ඩොලර් 34 ක් වැඩි මිලට ලන්සු තැබූ පෙර පැවති ඕමාන් සමාගම සමගම ගිවිසුමට එළඹෙන ලෙස ඔහුට ඉහළින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අභ්යන්තර ආරංචි මාර්ග පවසයි. ඉහළ දේශපාලන අධිකාරිය පමණක් නොව ලිට්රෝ සමාගමේ ඉහළ අධ්‍යක්ෂවරුන්ගේ කූඨ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ඕමාන් ගෑස් සමාගමටම ගිවිසුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නෙ.

එසේ නම්, පියල් කොළඹහෙට්ටිගේ මෙම මාධ්‍ය හමුවේ පවසන අයුරින්, ආසියානු කලාපයේ හොඳම ගෑස් ලබාදීමේ සමාගම ලෙස ඔහුම හඳුන්වන ඕමාන් ට්‍රේඩින් සමාගම හරහා ලංකාවට ගෑස් ලබාගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අවශ්‍ය නොවේද? ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ඔවුන්ව අමනාප කරගත්තා යන ඔහුගෙ බරපතල ප්‍රකාශය සහ අත්සන් කිරීමට නියමිතව ඇති අනීතික ඕමාන් ගෑස් ගිවිසුම අතර සම්බන්ධයක් නොමැතිද? නියමිත ටෙන්ඩර් පටිපාටියට නෛතිකව ගෑස් ගිවිසුම අත්සන් කිරීමට උත්සහ කළ සභාපතිවරුන් දෙපළක්ව ඔහු විවේචනය කිරීම උභතෝකොටික වන අතර මේ සියල්ල පිටුපස සිටින අදිසි හස්තය අප හඳුනාගත යුතුය.

කෙසේ නමුත් ඩොලර් 34ක් මිල වැඩි ඕමාන් ගෑස් සමාගම හරහා ගිවිසුම්ගත වීමට සියලු පිඹුරුපත් සකස් කර ඇති බවත්, එයට ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව, පත් කරනු ලබන නව සභාපතිවරයා හරහා මෙම ගිවිසුම අත්සන් කෙරෙන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂ ලියුම්කරු