Language Switcher

V2025

ආණ්ඩුව ලේ වැනි කුමන්ත්‍රණයක : අනුරගෙන් බරපතළ චෝදනාවක් !

ආණ්ඩුව බියගුළු ලේ වැකි කුමන්ත්‍රණ වලට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
 
අද (06) ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ චෝදනා නැගීය.
 
මේ වන විට බෝම්බ බැඳගෙන ජනාධිපති මන්දිරය වටලන්න ජවිපෙ උපදෙස් නිකුත්කර ඇති ආකාරයට වීඩියෝ පවා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඔහු පැවසීය .
 
අදාළ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් පහත දැක්වෙයි .
 
09 වැනිදා උද්ඝෝෂණයට සහය දෙනවා !
 
ආණ්ඩුවේ අසමත්කම නිසා එය පළවා හැරීමේ විශාල උද්ඝෝෂණයක් ගෝල්ෆේස් පිටිය පදනම් කරගෙන 09වැනිදා සූදනම් කර තිබෙනවා. ඒ සඳහා අපි පොදු ජනතාවට සහාය වෙමින් මැදිහත් වෙනවා. ආණ්ඩුව ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්නේ පොලිසිය, හමුදාව යොදවා අමානුෂික ලෙස පහර දී, එළවා දැමීම, බියවැද්දීම වැනි ක්‍රියාමාර්ගවලිනුයි. ඊට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වටා අතුරු බලකායක් ගොඩනැගීමට තීන්දු කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ අණ පිළිපදින ග්‍රාම ආරක්ෂකයින් පස්දෙනෙක් ඔවුන් වෙත යොදවන්න තීරණය කර තිබෙනවා. 
 
පොලිස්පති ගේ ලියුම !
 
මේ කරුණු දෙකට අමතරව තුන්වෙනුව පසුගිය 27වැනිදා පොලිස්පති විසින් ආරක්ෂක ලේකම් වෙත යවන ලද ලිපියෙන් 05, 06 දෙදින පවත්වන කළුකොටි සැමරුම ඉලක්ක කරගෙන උතුරේ සහ දකුණේ බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබෙන බවත්, එයට විදෙස් රහස් ඔත්තු සේවයත් කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ.ය පිට පැටවීමට සූදානමක් තිබෙන බවත්, ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඊට අමතරව අපේ පක්ෂයත් තවත් පක්ෂයක් සඳහන් කරමින් මන්ත්‍රීවරුන්ට පහරදීම, දේපළවලට හානි කිරීමට සැලසුමක් තිබෙන බවත්, පොලිස්පතිවරයා ඒ ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා මීට පෙර මාධ්‍ය හමුවේත්, 05වැනිදා පාර්ලිමේන්තුවේදීත් විශේෂයෙන් කරුණු දැක්වූවා.
 
 පොලිස්පතිවරයා මේ ලිපියට පදනම් කරගත් කරුණු රටට හෙළි කළ යුතුයි. මේ ලිපිය පොලිස්පතිවරයාගේ හිතළුවක්ද? නැත්නම් ආණ්ඩුව විසින් පොලිස්පතිවරයාට දැනුම්දීමේ ප්‍රතිඵලයක්ද? මෙවැනි ව්‍යාජ, භයානක ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ. 
 
භයානක බෝම්බ වීඩියෝවක් !
 
මේ සියලු කරුණුවලට වඩා ඉතාමත් භයානක වීඩියෝ පටයක් 05වැනිදා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. එහි තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමයි. 09වැනිදාට එම බෝම්බ ශරීරයේ බැඳගෙන ජනාධිපති කාර්යාලය වටලන ලෙසත් ජනාධිපතිවරයා පළවා හරින ලෙස මාගේ උපදෙස් ලැබී තිබෙන බවත්, ජනාධිපති පළවා හැරීමෙන් අනතුරුව මාව ජනාධිපති ධුරයට පත්කරන බවත් සටහන් වී තිබෙනවා. 
 
බෝම්බ වීඩියෝව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් !
 
මෙය අතිශය භයානක නිර්මාණයක්. ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බව, ඝාතනය කිරීමේ සැලසුම් තිබෙන බව සහ ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවට සමාජයට පණිවිඩයක් දීමේ අරමුණ මේ වීඩියෝ පටයේ තිබෙනවා. දැන් තාක්ෂණය ඉහළයි. ආණ්ඩුව වහාම මේ වීඩියෝව නිර්මාණය කළේ කවුද, එය සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කළේ කවුද කියලා පරීක්ෂණවලින් සොයාගත යුතුයි. ඊයේම මම පොලිසිය භාර අමාත්‍යවරයාට කතාකොට මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියා. 
 
අද දිනයේ අපේ නීතීඥ කණ්ඩායම් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම වීඩියෝව භාරදෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, වීඩියෝ නිර්මාණය කළේ කවුද? හඬ කාගේද, සමාජ ජාලාවලට නිකුත් කළේ කවුද යන කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි.
 
 ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ භයානක බියගුලු, ලේ වැකි කුමන්ත්‍රණයකටයි. ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් සමහර අවස්ථාවල ලංකාවේ ලෝකයේ බොහෝ රටවලත් පාලකයන් මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සාධාරණ නැගිටීම් බියගන්වන්න කුමන්ත්‍රණකාරී ලෙසත් අවලාදකාරී ලෙසත් දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කරනවා. පොලිස්පතිවරයාගේ මෙම ලිපියත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආයුධ ඉල්ලීමත්, මේ වීඩියෝ පටයත් තුළින් එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ බරපතළ සැකයක් මතුවෙනවා. 
 
කෙටි කාලයකින් පුළුල් විමර්ශනයක් කර සියල්ල හෙළිදරව් කරන්න !
 
කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට අදාළ කරුණු සියල්ල රටට හෙළිදරව් කළ යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව කුඩා පෝස්ට් එකක් දැම්මත් එක රැයෙන් තරුණයන්ව අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණා. කුඩා හඬ පටයක් සම්බන්ධයෙන් බියවද්දා අත්අඩංවට ගත් අවස්ථා තිබුණා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු සොයාගත නොහැකි වුණොත් එය ආණ්ඩුවේ වැඩක් බවට අපට සාධාරණ සැකයක් මතුවෙනවා. ගෝඨාභය-රනිල් විකෘති කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව තහවුරු වෙනවා.  මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොවේ නම්, කවුරු විසින් නිර්මාණය කර, සමාජ ජාලාවලට නිකුත් කලේද යන්න රටට හෙළිකළ යුතුයි. ගෝඨාභයගේ ආණ්ඩුවට අපි කියන්නේ මෙවැනි විහිළුකාරී මාරාන්තික දේවල්වලින් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා කියලයි. මෙවැනි බියගුලු ක්‍රියා හරහා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගන්න, ව්‍යාජ චිත්‍රයක් නිර්මාණය කරන්න, ගොඩනැගෙමින් තිබෙන ජනතා විශ්වාසය පළුදු කරන්න උත්සාහ කරනවා නම් එය අසාර්ථක උත්සාහයක් බව ගෝඨාභය තේරුම්ගත යුතුයි. 
 
මාධ්‍ය අහපු ප්‍රශ්නය !
 
ප්‍රශ්නය:-
වීඩියෝව නිකුත් කිරීමට අදාළ යම් තොරතුරු ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවාද? 
 
පිළිතුරු:-
ඔව්. ඒ සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න සූදානම්