මේ 22 ව්‍යවස්ථා සංශෝධනය 20 තිබූ පසුගාමී සියල්ල ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නොව , වැදගත් දේ වන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඉදිරියට ගිය සංශෝධන මේ තුළ සිදුකර තිබීමය. එහිත් විශේෂත්වය වෙන්නේ , ජනාධිපතිගේ විධායක බලතල තවදුරටත් කප්පාදු කර එම බලය පාර්ලිමේන්තුව සතු කිරීමය.
මේ පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් සිදුකර තිබූ කරුණු පැහැදිලි කිරීමක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (41) (ආ) අවස්ථාව):
අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාමාජිකයන් ලෙස පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව තෝරා ගැනීම වෙනුවට,
I) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා ගැනීම.
2) විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අයත් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරු විසින් බහුතරයේ එකඟත්වය මත මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.
3) ඉහත කී දේශපාලන කණ්ඩායම් දෙක නොවන අනෙකුත් කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.
ආ) සමාජයෙන් පත් කරනු ලබන තිදෙනා පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමකින් තොරව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇතිව නිර්පාක්ෂික විද්වතුන් පත්කර ගැනීම.
1) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම (41) ඇ) ව්‍යවස්ථාව)
මහ බැංකුවේ අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය. ( මූල්‍ය මණ්ඩලයේ නිල නොවන සාමාජිකයන් පත් කිරීමේදී එසේ අනුමැතිය ලබා ගත යුතු බවට ප්‍රතිපාදන 2002 මූල්‍ය මණ්ඩල සංශෝධන පනතේ ඇතුළත්ව ඇත. )
2) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවකට ජනාධිපතිවරයාට අන්තර්කාලීන ජාන මගින් ආරක්ෂක මහවැලි සහ පරිසර අමාත්‍යාංශය දැරිය හැකි ව තිබුණි. 22 වන සංශෝධනය මගින් එය ආරක්ෂක අමාත්‍යංශයට පමණක් සීමා කර ඇත.
3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලබන්නන් ගේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට දින හතක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. (121(1) ව්‍යවස්ථාව) 22වන සංශෝධනය මගින් එය දින 14ක් දක්වා දිගු කිරීම මගින් ව්‍යවස්ථා සම්පාදනයට මහජනතාවට සහභාගි වීමට ඇති ඉඩකඩ පුළුල් වී ඇත.
4) දූෂණයට එරෙහි නීති
විසි දෙවන සංශෝධනය මගින් ශ්‍රී ලංකාව පාර්ශවයක් වන දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කරන බවට ඇති ප්‍රතිපාදන අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එමගින් අල්ලස් දූෂණ කොමිෂන් සභා නීතිය සහ වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය යාවත්කාලීන වනු ඇත.
5) ලේකම්වරුන්ගේ ධූරකාලය (52 ව්‍යවස්ථාව)
52(3) අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ධූර දැරීම අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට නතර විය යුතු නමුත් යෝජිත සංශෝධනය අනුව ඔවුන් දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇත.
ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම නුසුදුසු භාවය ඇතුළත් කොට ඇත.
20 වුණත් හොඳම ටික 22 ට !
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් ගුණාංග රඳවා තබා ගැනීම:
1) 78(3) ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ දී පනත් කෙටුම්පතක ට සංශෝධන ඉදිරිපත් කිරිමේ දී පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිර සංශෝධනයක් ඇතුළත් නොකළ යුතුය යන ප්‍රතිපාදන එලෙස ම පවත්වාගෙන යනු ලැබේ.
2) 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් ශ්‍රේෂ්ඨාකධිරණය ඉදිරිපත් කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයකට ලක්කළ හැකි බවට ප්‍රතිපදාන සැලසුණි.
එහෙත් 20 වන සංශෝදධනයෙන් හඳුන්වා දුන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(3) අනුව ජනාධිපතිවරයාගේ විෂයකට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කුමන හෝ අධිකරණ බලය ඇති අධිකරණයක නඩු පැවරීමේ බලය ඇති බවට පුළුල් කර ඇත. එය එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.
3) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂඨාකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 ක් දක්වා ද වැඩි කරන ලදී. එය එසේම පවත්වා ගෙන යනු ඇත.
මේ ඇත්තටම 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොවේය. නමුත් විධායක ජනාධිපති ධූරය ලැබූ අනෙක් සේරටම වෙනස් ගමනක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පදනම් සකස් කරන බව තේරුම් ගන්න බාධාවක් නැත.
22 යනුම තමන්ට ව්‍යවස්ථාව මගින් මේ මොහොතේ පැවරී ඇති බලය , එහි අසීමිත බලතල , සංවරණ සහ තුළන සම්බන්ධ කඩා ඉහිරවන අත්තනෝමතිකත්වය ඉවත් කරමින් සම්ප්‍රදායික ජනාධිපති භූමිකාවෙන් ඉවතට යාමකි.
අසීරුම අවස්ථාවේ පවා ඔහු සීරුවෙන් රැකගත්, දර්ශනය , ප්‍රතිපත්තිය මේ ලෙස හෝ ලැබුණු අවස්ථාවේ ඉදිරියට ගැනීම වරදක්ද ? රාජපක්ෂවරුන් කාලයක් තිස්සේ ගොඩනැගූ මිත්‍යාව ඒ කඳවුරේ සහයෙන් හෙළිකර , ඒවා කුඩු කිරීම වරදක්ද ?
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ට, රනිල් රාජපක්ෂ නම තැබූවන් , බොරු හුරතල් නැතුව මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනය. නැත්නම් පිළිගන්න වෙන්නේ මේ උදවියට ඇත්තේ පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්නයක් බවය. සැබවින්ම රාජපක්ෂවරුන් ගොඩනැගූ රාජපක්ෂවාදයේ නියම ආරක්ෂකයන් වීමට මේ හැර තවත් සුදුසුකම් මොකටද ?
එස්.එල්.ශ්‍යාම්