Language Switcher

V2025

රජය කරන හොඳ වැඩට සෑම සහයක්ම දෙනවා : එරාන් පොරොන්දු වෙයි !

මේ අර්බුද අවස්ථාවේ දී රජය විවේචනය කරන්න එපා යැයි ඇතැම් අමාත්‍යවරු ඉල්ලා සිටිය ද වග කිව යුතු විපක්ෂයක් වශයෙන් විවේචනය කළ යුතු අවස් ථාවලදී අපි රජය විවේචනය කරන්න වෙන බවත් විපක්ෂයේ ඉන්න ගමන් රජයේ හොඳ වැඩවලට හැකි සෑම සහායක්ම දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර වැඩි දුරටත් මන්ත්‍රී වරයා " රජය විවේචනය කිරීමට පළවැනි හේතුව රට අර්බුදවලට ඇද වැටුනේ රජය ගත් වැරදි තීරණ නිසා, මේවට වග කිව යුත්තන් කවුද ?" යනුවෙන් ද ප්‍රශ්න කළේය .

2019 දී බදු අඩුකළා බදු නිදහස දුන්නා. අය වැය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2021 දී ආදායම 13.5 % සිට ද. දේ. නි.ප්‍රතිශතයක් ලෙස 8.7 % ට බැස්සා. දාහත් ලක්ෂ පන් දහසක් (1,705,000) වූ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ පහකට අඩු වුණා. ලක්ෂ 11 ක් වූ උපයන විට බදු ගෙවන අයගේ සංඛ්‍යාව 32,000 දක්වා අඩුවී තිබෙනවා.

යහපාලන රජය හඳුන්වා දුන් ආදායම් බදු පනත නිසා එක් වසරකින් ආදායම් බදු 38 % කින් රු. බිලියන 310 සිට රු.බි 427 ට ඉහල ගියා. එහෙත් එම කාල වකවානුවේ සුරා බදු වල අඩුවීමක් තිබෙනවා.එදා සුරා බදු ආදායම රු බි 484 සිට 399ට පහලට ගියා. සුරා බදු සමාගම් සහ දේශපාලනඥයන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ගනු දෙනු තිබූ බව චෝදනාවක් තිබෙනවා. මේ හරහා රු බිලියන 45 ක් පමණ රජයට ආදායම් අඩුවූ හෙයින් එදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් සතයක්වත් නොගත් බව කී වික්‍රමරත්න මහතා මේ ගැන ඉදිරි අය වැයට ප්‍රතමයෙන් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

මේ රටේ දුම් කොල බදු ආදායම් ඇස්තමේන්තුව රු බිලියන 92 ක් වූ වද දුම්කොල ආශ්‍රිත රෝග නිසා වන සෞඛ්‍ය වියදම් ඩොලර් බිලියන 214 ට වඩා වැඩි යැයි ඇස්තමේන්තු කර තිබෙනවා.මෙයින් ඩොලර් බිලියන 115 ක් පමණ රටට අවාසියක් තිබෙනවා.එනිසා සුරා බදු ආදායම නිසි ලෙස ගණන් බලා බදු අයකිරීම් කළ යුතුයි. නිලධාරීන් හා දේශපාලකයන් එකතු වී රට වෙනුවෙන් කළ යුතු දෙය වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස ඉටු කර නොමැති බැවින් මේවා නිසි ආකාරයට කරන ගමන් වැරදි කරුවන්ට දඬුවම් දීම ද අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.

2018 ව්‍යවස් ථා කුමන්ත්‍රණය හා 2019 සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී දල දේශීය නිෂ්පාදනය අඩු විය. බදු අඩු කිරීම ගැන පමණක් නොව රට අස් ථාවර කිරීමට වග කිව යුත්තන් කවුරුන්දැයි සොය බැලීම ද රජයේ වග කීම වනවා. විදේශ සංචිතය 2014 පැවති ඩොලර් බිලියන 8.2, 2019 වන විට 7.6 ක් වූ නමුදු 2020 අප්‍රේල් වන විට හිඳී රටම බංකොලොත් වී යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ රට බංකොලොත්වීම ගැන වග කිව යුත්තන් කවුරුන් දැයි රටට කියන්නැයි මා රජයෙන් ප්‍රසිද්ධියේ අසනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

දූෂණයට, හොරකමට, අක්‍රමිකතාවලට හසු වුවහොත් රට යළි ගොඩනැගිය නොහැකි බව නව ජනාධිපතිවරයාට සහ රජයට අනතුරු ඇඟවීමක් කරමින් මුදල් වගකීම් සම්බන්ධයෙන් වගකිව යුතු පාර් ලිමේන්තුව නොමග යවමින් විකෘති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන නිලධාරීන් පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. 2020 වසර තුළ අයවැය හිඟයේ නිල අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6% ක් බව සිහිපත් කළ හෙතම මුදල් පදනම් මත ගිණුම් ක්‍රමය යටතේ 2020 වසරේ වියදම් කළ රුපියල් බිලියන 420 ක් 2019 වසරේ වියදම්වලට මාරු කර එය වංචනික ලෙස පෙන්වා ඇතැය් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය .