Language Switcher

V2025

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ: යුනෙස්කෝ සමුළුව ලංකාවේදී

යුනෙස්කෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණය දෙසැම්බර් 04 වෙනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා අන්තර්ජාතික පාර්ශ්වකරුවන් පනහක් සහභාගී වනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ දේශීය පාර්ශ්වකරුවන් එකසිය පනහක් පමණ සහභාගී වනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සම්මන්ත්‍රණයයෙහි ප්‍රධාන ආරාධිත දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවත්වනු ලබන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් ද දේශන පැවැත්වීමට නියමිතය‍.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සහ අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳව ද සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය, ජාතික මානව හිමිකම් කොමිෂන් සහා සහ සිවිල් සමාජයේ භූමිකාව කෙරෙහි ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

dodawatta 614pxමේ අතර ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පසුගියදා පැවසීය.

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන්ට දඬුවම් දීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසම් පත්කරන ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමිව නිකුත් කළ ප්‍රකාශනය මගින් කියා සිටී.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ "වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් අපරාධවලට ගොදුරු වූ" 2000 සිට 2015 වසරේ ආරම්භය දක්වා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙන නමුත් එම පරීක්ෂණවල ප්‍රගතිය ද ඉතා මන්දගාමී බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.

(බීබීසී සිංහල සේවය)