Language Switcher

V2025

ජිනීවාවේ මොකද වුණේ ?

ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම් යෝජනාව බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 6) සම්මත විය. යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙනි. එහෙත් ශ්‍රී ලංකාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි.

යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල්:

ආර්ජන්ටිනාව
ආර්මේනියාව
චෙක් ජනරජය
ෆින්ලන්තය
ප්‍රංශය
ජර්මනිය
හොන්ඩුරාස්
ලිතුවේනියාව
ලක්සම්බර්ග්
මලාවි
මාෂල් දූපත්
මෙක්සිකෝව
මෙන්ටිනිග්රෝ
නෙදර්ලන්තය
පැරගුවේ
පෝලන්තය
කොරියානු ජනරජය
යුක්රේනය
මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය
ඇමරිකා එක්සත් ජනපදය

විරුද්ධ ඡන්දය දුන් රටවල්:

බොලිවියාව
චීනය
කියුබාව
එරිත්‍රියාව
පකිස්ථානය
උස්බෙකිස්තානය
වෙනිසියුලාව

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්:

බෙනින්
බ්‍රසීලය
කැමරූන්
අයිවරි කෝස්ට්
ගැබොන්
ගැම්බියාව
ඉන්දියාව
ඉන්දුනීසියාව
ජපානය
කසකස්තානය
ලිබියාව
මැලේසියාව
මොරිටේනියාව
නැමීබියාව
නේපාලය
කටාරය
සෙනගල්
සෝමාලියාව
සුඩානය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ශ්‍රී ලංකාවට අද අභියෝගාත්මක දවස ක් විය. ඒ, අද පැවැත්වූ ඡන්ද විමසීම ශ්‍රී ලංකාවට ඉතා අසීරු එකක් වූ බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් පවසයි.

යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙනි.

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මේ යෝජනාවේ ගෙන ආ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාවට තම විරෝධය දැක්විය.

මෙවර සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ මොනවාද?

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට කරුණු 19 ක් ඇතුළත් ය.

ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇත.

ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙයි.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ, තුවාලවීම් හා දේපළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයට මෙම රටවල් කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා ඇත.

51 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

කෙසේවෙතත් විදේශ අමාත්‍ය අලී සබ්‍රි සඳහන් කළේ, ආර්ථික අපරාධ සිදුවී ඇත්නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් අධිකරණ තුළ නඩු දමා ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේ "මානව හිමිකම් කොමිසම කළ යුත්තේ මානව හිමිකම් කොමිසමට අදාළ දේවල්. ඒ හින්දා තමයි අපි කියන්නේ, අපට මෙතනින් ගැලවෙන්න දෙන්නේ නැතිව බිලී කොක්කක් දාගෙන ඉන්නවා, සදාකාලිකව මෙතන හිර කරන්න. ඔවුන්ට අවශ්‍ය දේවලටයි අවශ්‍ය නැති දේවල්වලටයි හැම දේටම ඇඟිලි ගහනවා"

"මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන"

ජිනීවා නුවර සිට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඔක්තෝබර් 05 වැනිදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.

ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බවට විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

"මේකෙන් උත්සාහ කරන්නේ මානව හිමිකම් කියන මේ ආයුධය උපයෝගී කරගෙන ජීවිතාන්තය දක්වා අපිව පාලනය කිරීමට යොදා ගැනීම."යනුවෙන් පැවසීය.

දිගින් දිගටම ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස භාවිත කරමින් මෙරට ස්වාධිපත්‍යට හා ස්වාධීනත්වයට හානි කිරිමට යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

"අවාසනාවට වගේ රට තුළ පත්වෙලා තියන මේ ව්‍යාකූලත්වය තුළ ශ්‍රී ලාංකිකයෝ බෙදුම්වාදී ඇජෙන්ඩාවක් ඉදිරියට ගෙන යන අයට විරුද්ධව පෙල ගැහෙන ශ්‍රී ලාංකිකයෝ තුළ වෙනසක් බෙදීමක් වෙලා තියනවා. අපට නෑ කියන්න බෑනේ. ඒ බෙදීම ඉතාමත් ලස්සනට බෙදුම්වාදී ප්‍රවාහයේ සිටින අය ප්‍රයෝජනයට අරන් තියනවා." විදේශ අමාත්‍යවරයා පැවසීය.

"8 වැනි ජේදය බරපතලයි"

මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුලු අපරාධ විමර්ශනය කර වගවීම ඉටුකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර දිය යුතු බව යෝජනා කෙටුම්පතේ 8 වැනි කරුණේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනය කර ඊට අනුබද්ධව කරනු ලබන අධිකරණමය හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවලියට සාමාජික රටවල් සහය දිය යුතු බව එහි දැක්වේ.

යෝජනාවේ 8 වෙනි ඡේදය මඟින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් රණවිරුවන්ව ඉලක්ක කර ඇති බව අමාත්‍ය අලි සබ්‍රි පෙන්වා දුන්නේය.

"අට වැනි පැරග්‍රාප් එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේකේ භයානකම කොටස තමයි, ලංකාවේ ඔවුන් කියන ආකාරයට සිදුවුණා කියන මානූෂිය මෙහෙයුමේදී යම් යම් දේවල් සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාදාමයෙන් එලියට ගිහිල්ලා පිටරටවල නඩු අහලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම තුළ මේ හදන්නේ අපේ රණවිරුවන්ව ටාගට් කරලා ඔවුන්ට කරදර කරන්න." අමාත්‍යවරයා පැවසීය.

පිටරටවල නඩු ඇසීම මෙරට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවද අලි සබ්‍රි ප්‍රකාශ කළේය.

"මේකට අපිට එකඟ වෙන්න බැහැ. ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඒකට අපි එකඟ වුණත් මං හිතන්නේ නැහැ අපේ අධිකරණය ඒකට ඉඩ දෙයි කියලා."

යෝජනාව පරාජය කිරීමට හැකිවෙයිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. ඉන් රටවල් 30ක් දැනටමත් යෝජනාවට සහය දෙන බව ප්‍රකාශ කර ඇත.

මෙම පසුබිම තුළ යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවෙයිද?

මානව හිමිකම් කවුන්සිලයේ බලවත් සාමාජික රාජ්‍යයන් එල්ල කරන බලපෑම් හමුවේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව සබ්‍රි පෙන්වා දුන්නේය.

"අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, කැනඩාව කියන්නේ ලෝකයේ ඉතාම බලවත් රටවල්. ඉතින් ඔවුන් හැමෝටම කතා කරගෙන යනවා. සම්පූර්ණයෙන්ම බටහිර ලෝකයම ඔවුන් සතු කරගෙන තිස් දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා." අමාත්‍යවරයා පැවසීය.

"මේක රජයකට විරුද්ධව, නායකයෙකුට විරුද්ධව, පක්ෂයකට විරුද්ධව ගෙන යන එකක් නොවෙයි." විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

"කව්ද අපිත් එක්ක ඉන්නේ කියන එක පිළිබඳව මම දැනට කිව්වත් අපිට ඡන්දය දෙන්න ඉන්න කිහිප දෙනා පිටිපස්සේ ගිහිල්ලා ලොබි කරයි."

"ගිය සැරේ තරම් ඡන්ද අපිට ලැබෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ." විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අසල්වැසි ඉන්දියාව හෝ මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහය දෙන්නේ දැයි මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කිරීමට සූදානම් වන යෝජනාව ජී.එස්.පී සහනයට සහ IMF සාකච්ඡාවලටද බලපානු ඇති බවයි.

"ප්‍රධාන විවේචනයක් වන්නේ ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ඊට සම්බන්ධ නොයෙක් නීති පාවිච්චි කරයි කියන එක." මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මහාචාර්ය ජී.එල් පීරිස් අවධාරණය කළේ "මේක සම්මත වුනොත් බොහොම දරුණූ ප්‍රතිඵල ජනිත වෙනවා. මේක අනිවාර්යෙන් බලපානවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අපි කරන සාකච්ඡාවලට. ඒ විතරක් නෙමේ ජී.එස්.පී ප්ලස් සහනයටත්."

ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක්

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් බවයි.

ඔහු පෙන්වා දුන්නේ, මෙය ආර්ථික අර්බුදය තවත් තිව්‍රවීමට බලපා හැකි බවද ඔහු සඳහන් කළේය.

"ගොඩක් රටවල් අපිට සහයෝගය දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමා PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ), සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වය.ඒක හින්ද අපි ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි." ආචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය.

"මෙම තත්ත්වය සමඟ අපිට විදේශ ආයෝජන, යුරෝපා ආධාර, සෘජු විදේශ ආයෝජන අඩුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයෝජන අඩුවෙන්න පුලුවන්." ඔහු පෙන්වා දුන්නේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, "IMF එකටත් මේක එච්චර හොඳ සිග්නල් එකක් වෙන එකක් නැහැ."

 බීබීසී - සිංහල