Language Switcher

V2025

සිරිසේනගේ මරුසිරා දේශපාලනේ !

පහුගිය දවසක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන , හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන, දෙවැනි වතාවටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඉවත් කළා. අලුත් මහලේකම් කෙනෙක් පත් කළා. කලින් හිටියේ මහින්ද අමරවීර. අලුතෙන් පත්වුණේ තිලංග සුමතිපාල.

ඒත් ඒ වැඩේ මෙයාට තනියෙන් කරන්න පුළුවන්, හිතුවක්කාර කමක් නෙවෙයි කියලයි, බොහෝ දේශපාලන විචාරකයින් කිව්වේ. කවුරු මොනව කිව්වත්, සිරිසේන මහත්තයා කරන්නේ, එයාට ඕනදේ බව , නොදන්නා කෙනෙක් නෑ. හරියට මරු සිරාගේ ටැටූ එක වගෙයි . හිතුමතේ ජීවිතේ තමයි .

ඒත් ඉතිං සන්ධානයේ සහෝදර පක්ෂ ටික එකතු වෙලා, සිරිසේන මහත්තයට, ඒ වගේ හිතුවක්කාර තීන්දුව ගන්න බෑ කියලා , ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලත් තිබුණා.

මොකද මට බැරි... මම 2015 දීත් ඕක කලා. අදත් කරනවා. සමහරවිට අපේ සිරිසේන මහත්තයා එහෙම හිතනවා ඇති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා කියන්නේ, 2004දී ඡන්දෙ දිනන්න මේ රටේ වාමවාදී කඳවුරේ පක්ෂ කීපයක් එකතු එකතුවෙලා, පිහිටුවා ගත්ත සංවිධානයක්. ඒකෙ මහ බලධාරියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ඇත්ත. ඒත් එතන තීන්දු තීරණ ගනිද්දී, සන්ධානයේ සාමාජික පක්ෂ වල නායකයන්ගේ මතයත් වැදගත් කියන එක, අපට බැහැර කරන්න බැරි කාරණාවක්.

එදා චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ,, දේවානන්දගේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ජාතික කොංග්‍රසය කියන පක්ෂවල එකමුතුවෙන්.

එහි ආරම්භක නායිකාව වුණේ, චන්ද්‍රිකා මැතිණිය. මහලේකම් උනේ සුසිල් ප්‍රේමජයන්ත.

2004දි සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවන්න, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, සමසමාජ පක්ෂයත් මගදී හවුල් වුණ බව ඇත්ත. ඒත් සන්ධානයේ නියම හවුල්කරුවෝ වුණේ, මුලින් කියපු පක්ෂ විතරයි.

සිරිසේන මහත්තයා 2015දී,, පළවෙනි හිතුවක්කාර කම කළේ, ජනාධිපති බලය තියාගෙන. එතුමා එදා දේශපාලන උප්පරවැට්ටියක් ලෙස , තනි තීන්දුවක් අරන්, මහලේකම් කමේ හිටපු සුසිල්ව ඉවත් කරලා, මහින්ද අමරවීර පත්කරද්දී, කවුරුවත්ම ඊට විරුද්ධව කතා කළේ නෑ. ඒ මොකද මහින්දවාදී පක්ෂ අතලොස්ස හැරුණම, එදා මුළු රටේම අධිපතිවාදි ජනමතය හැරිලා තිබුණේ, සිරිසේන මහත්තයාගේ පැත්තට නිසා .

එදා ඒ කරපු හිතුවක්කාරකමේ පුරුද්දට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා විසින්, මෙදාපාරත් ඒ වරද නැවත කරාම, අනිත් අය කරබාගෙන ඉඳියි කියලා, සිරිසේන මහත්තයා හිතන්න ඇති.

හැබැයි ඔවුන් සෙසු පක්ෂ දැන් නිහඬ නෑ. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා.

දේශපාලන වාර්තාකරු