Language Switcher

V2025

මාගම්පුර වරායේ ආරක්ෂාවට තර්ජනය !

ඔවුන්ම පමණක් දන්නා හේතුන් මත මාගම්පුර වරායේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ සාමාන්‍ය නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ගැටළුකාරි තත්ත්වයක් ඇති කරමින් සේවකයන් අඛණ්ඩව නීතිවිරෝධි ක්‍රියාවන්හි නිතරව සිටීන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

මාගම්පුර වරාය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් විරහිත බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය (වරාය අධිකාරිය) මාගම්පුර පෝට් මැනේජ්මන්ට් කම්පැනි (පුද්) සමාගම (MPMC) සහ මාගම්පුර වරාය සම්බන්ධයෙන් පළවී ඇති අසත්‍ය සහ නොමග යවන සුළු වාර්තා කීපයක් සහ දෝෂ සහිත අනුමානයන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබේ.

සේවය අවසන් කර ඇති බවට කෙරෙන චෝදනා?

 MPMC සමාගමෙහි සේවකයන්ගේ සේවය අවසන් කර ඇති බවට කෙරෙන චෝදනා මුළුමනින්ම අසත්‍ය වන අතර, වරාය අධිකාරිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

සමහර සේවකයන් MPMC සමාගමේ පරිපාලන කටයුතු කඩාකප්පල් කිරීම තුළින් ගෙවීම් ප්‍රමාද කිරීමට කරන ලද උත්සාහයන් ද නොතකා සියලූ සේවකයන්ගේ නොවැම්බර් මස සඳහා වැටුප් දැනටමත් ගෙවා ඇත.

අප දැනුවත් පරිදි නැවත දැනුම් දෙන තෙක් /නිත්‍යානූකූලව ඉදිරි පියවර ගන්නා තෙක් එලෙස වැටුප් අඛණ්ඩව ගෙවීමට MPMC සමාගම කටයුතු කරනු ඇත.

 ඔවුන්ම පමණක් දන්නා හේතුන් ?

 MPMC සමාගම පැහැදිලි ලෙසම සහ නැවත නැවතත් මෙම කරුණු පිළිබඳව සේවකයන්ට සහතික වී ඇති නමුත් ඔවුන්ම පමණක් දන්නා හේතුන් මත මාගම්පුර වරායේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ සාමාන්‍ය නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ගැටළුකාරි තත්ත්වයක් ඇති කරමින් සේවකයන් අඛණ්ඩව නීතිවිරෝධි ක්‍රියාවන්හි නිතරව සිටීයි.

MPMC සමාගමේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමෙන් පසු එහි සේවකයන්ට හිමිවිය යුතු සහන කවරේදැයි තීරණය කිරීම සඳහා කාර්මික අධිකරණය හමුවේ දැනට නඩු කටයුත්තක් විභාග වෙමින් පවතී.

වරාය අධිකාරිය සහ MPMC සමාගම එහි නීති කටයුතු සඳහා අඛණ්ඩව සහභාගි වනු ඇත.

 ඉහළ වන්දි ගෙවීමක් !

 නීතියෙන් නියම කර ඇති ප්‍රමාණයට වඩා ඉතා ඉහළ වන්දි ගෙවීමක් යෝජනා කෙරෙන ස්වේච්ඡාවෙන් සේවකයන් ඉල්ලා අස්වීමේ යෝජනා ක්‍රමයත් MPMC සමාගම විසින් සියළු සේවකයන් වෙත අර්පනය කර ඇති අතර, එහි සේවකයන් කණ්ඩායමක් දැනටමත් එය පිළිගෙන ඇත.

පොදුවේ සියළු දෙනා දැනුවත් පරිදි මාගම්පුර වරාය එහි වර්තමාන තත්ත්වය අනුව ආර්ථීක වශයෙන් එය අසාර්ථක වන අතර, එහි ණය බර හා ණය ආපසු ගෙවීමේ පිරිවැය රජය මත පැටවී ඇත.

එහෙයින් රාජ්‍ය ණය බර අවම කර ගැනීමට සහ මාගම්පුර වරාය ආර්ථීක වශයෙන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වී ඇති ආයෝජනයන් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කරණයන් තුළින් සපයා ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලදී.

මාගම්පුර වරාය නැවතත් වරාය අධිකාරියට :

මේ වන විට ප්‍රධාන වශයෙන්ම කොළඹ වරායෙන් යොමු කරන ලද ව්‍යාපාරික අවස්ථාවන් මත යැපෙමින් සහ දේශීය බැංකු වෙත අධික ණය බරක් ගෙවමින් සිටින MPMC සමාගම මෙම ක්‍රියාවලිය සඳහා මාගම්පුර වරාය නැවතත් වරාය අධිකාරිය වෙත පැවරිය යුතු වි ය.

MPMC සමාගම 2017 නොවැම්බර් 30වන දින සිට සිය සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම් දෙනු ලැබූවේ ඉහත සඳහන් පසුබිම තුළ දී ය.

සේවකයන් හට පැවැරීමට කිසිදු කාර්යයක් MPMC සමාගමට නොතිබුණේ වුවද, ඉහත සඳහන් පරිදි අඛණ්ඩව සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ගෙවන බවට සහතික වන ලදී.

 සියල්ල නීතියට එකඟවයි :

 එහෙයින් වරාය අධිකාරිය සහ/හෝ MPMC සමාගම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශයන් මුළුමනින් ම අසත්‍ය හා චේතනාන්විතව නොමග යවන සුළු වේ.

අවසානයේ දී සියල්ලන්ගේම සැළකිල්ලට භාජනය විය යුතු පුළුල් ජාතික ආර්ථීක යහපත පිළිබඳව අවධානයෙන් යුතුව MPMC සමාගමේ සේවකයන්ගේ ගැටළු සඳහා සාධාරණ විසඳුමක් කරා ළඟා වීමට වරාය අධිකාරිය අඛණ්ඩව කටයුතු කරනු ඇත.