Language Switcher

V2025

සිරිධම්ම හිමිට සස්ටජන් ගන්න මහේස්ත්‍රාත්වරිය මුදල් දීලා !

රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අයගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 31 වන දා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (ජන. 17) දැනුම් දුන්නේ ය.

මෙම නඩුව ඊයේ දින පළමු වරට කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවේ වන අතර එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

මෙම නඩුවේ සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය පසුගිය නොවැම්බර් මස 17 හා 22 වන දිනවල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී එම නඩුව කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් හා ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් 4 දෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට කරුණු දැක්වීය.

ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරි වසන්ත රත්නායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ඇතුළු නිලධාරීන් සිවුදෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශවලට අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දා සැකකරුවන් අධිකරණය නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව “අපි හැමෝම වෙනුවෙන් ඔබලා අරගල කළේ ඒත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා ඇප ලබා දිය නොහැකි බවත් පනතෙන් අපගේ අත් බැඳ ඇති අතර සැකකාර මේ හිමිනමට සිංහල බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් එයට ඉඩ ලබා දෙන්න” යනුවෙන් ප්‍රකාශ කරමින් සැකකාර සිරිධම්ම හිමිට පස්පංගුව හා සස්ටජන් ලබාදීමට අධිකරණ නිලධාරියෙකු අතට රුපියල් 10,000ක මුදලක් ලබා දී ඇතැයි සඳහන් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියා ය.

ඒ අනුව, අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම නඩුව මෙම අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීම සුදුසු නොවන බැවින් මෙය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී විත්තිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කළ යුතු අතර මෙලෙස කිරීම යහපත් දෙයක් නොවන බවත් එය අධිකරණය බිය වැද්දීමක් හා අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් කිරීමට උත්සාහයක් දැරීම ලෙසට සැලකිය හැකි බව ප්‍රකාශ කළේ ය.

මෙම නඩුවේ දෙවන සැකකරු වන සිරිධම්ම හිමි භික්ෂුවක් ලෙසට සලකා මානුෂීය චේතනාව පෙරදැරිව තමන් විසින් එම ක්‍රියාව කළද තමන් විසින් එම අවස්ථාවේ ප්‍රකාශ කරන ලද සියල්ල ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපිටදී ම ප්‍රකාශ කළ බවත්, සඳහන් නොකළ කරුණු ද මේ වන විට ප්‍රකාශ කිරීමෙන් තමන් වෙත ප්‍රශ්නයක් ඇති කිරීමට දරන උත්සාහය අනුමත නොකරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ය.

එසේ ම, මේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ ද යන්න මහේස්ත්‍රාත්වරිය මෙන්ම විත්තියේ ජනාධිපති නීතිඥවරයා ද පැමිණිල්ලෙන් විමසා සිටියහ.

අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි දිනවල පැමිණිලි ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පිළිතුරු ලබා දුන්නේ ය.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මින් ඉදිරියට කැඳවන ලෙසට නියෝග කළා ය.

ඒ අනුව, නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ලබන 24 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දෙපාර්ශ්වය වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 31 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේ ය.

- mawbima