Language Switcher

V2025

සහගහන අපරාධයක් : වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් !

අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පිළිකා නාශක ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබා දී ඇතැයි අනාවරණය වේ. මෙලෙස මුදල් නාස්ති කරමින් හදිසි මිලදී ගැනීමක් ලෙස මෙම ඖෂධ ලබාගැනීමට සැරසෙන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස්එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳ පොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත. මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.

ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.

මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස්වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.

- aruna