විදුලිය - තෙල් - ශ්‍රී ලංකන් මාස 8ක පාඩුව : කෝටි අසූ පන් දහස් හාරසීය පන්නලා !

විදුලිය - තෙල් - ශ්‍රී ලංකන්  මාස 8ක පාඩුව : කෝටි අසූ පන් දහස් හාරසීය පන්නලා !

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක් රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුවෙන් සියයට 99ක් ජනනය කර ඇත්තේ මේ ආයතන තුන බව පැවසූ මන්ත්‍රීවරයා එම ආයතන තුන වර්ෂ ගණනාවක් තිස්සේ අලාභ ලබන තත්වයක පවත්වාගෙන යෑම හේතුවෙන් විශාල ණය බරක් ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 පසුගිය වසරේ මුල් මාස අට තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හය සීයක් (72,600) බවද ඔහු සඳහන් කළේය.

මෙම ආයතන පනස් දෙකෙන් රාජ්‍ය ව්‍යවසායන් 32 ක බදු අය කිරීමට පෙර ලාභය රුපියල් කෝටි 13400ක් බවත් ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් විසි එක රුපියල් කෝටි අසූ හය දහස් එක සීයක(86100) අලාභයක් වාර්තා කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පෙන්වා දෙන බව පැවසූ හෙතෙම මෙම ආයතන නගාසිටුවීමේ එකම මග පුද්ගලීකරණය නොව රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ කටයුතු කිරීම බවද පෙන්වා දුන්නේය.

මේ අතර 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය එම වසරේ දෙවැනි කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න