EPF පෙත්සම විභාගයට නොගෙන විසිවෙයි !

EPF පෙත්සම විභාගයට නොගෙන විසිවෙයි !

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කර ඇත .

අදාළ තීන්දුව ව්ජිිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රමුඛ නායකයකු වන චතුරංග අබේසිංහ විසිනි.

ඊයේ (10) මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.

ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.

සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.

ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත .

කෙසේ වුවත් අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න