මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද : ජනාධිපති මඩු මංගල්‍යයට යයි

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද : ජනාධිපති මඩු මංගල්‍යයට යයි

උතුරේ හා දකුණේ සාමයේ සංකේතය ලෙස සැලකෙන මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ.

මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ විය.

මඩු දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වෙන්නේ, සෑම වසරකම අගෝස්තු මස 15 වැනි දිනයි.

ඒ, මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි.

ජනාධිපති වික්‍රමසිංහ මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.

ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමත්හු වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.

මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් එහිදී පැවැසූයේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත්ය.

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩප්පේ හිමිපාණන්, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්දාදි හිමිපාණන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ ද ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු මැති ඇමැතිවරුගේ සහභාගීත්වයෙන් මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත් විය.

{gallery}madu{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න