මාතරට ගංවතුර අවදානමක් : මාතර සියළු පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමේ

මාතරට ගංවතුර අවදානමක් : මාතර සියළු පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමේ

නිල්වලා ගඟ ආශ්‍රිතව ඇති විය හැකි විශාල මට්ටමේ ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.

මාතර , මාලිම්බඩ , කඹුරුපිටිය , තිහගොඩ , අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිලිබද විමිසිලිමත් විය යුතු බවත්, තවදුරටත් වැසි ඇඳ හැළුණහොත් නිල්වලා ගංගාවේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරු යෑමේ අවධානම එලෙසම පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර ප්‍රකාශ කළේ ය.

මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙමින් පවතින බව වාර්තා වෙයි.

අලුයම 3 න් අවසන්වු ගෙවුණු පැය 18 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ ද මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් ය.

එම අගය මිලිමීටර් 116 කි.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ වර්ෂාධික කාලගුණය හමුවේ පුද්ගලයින් 6000 කට අධික පිරිසක් ගංවතුරට කොටුවී ඇතැයි, දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සඳහන් කළේ ය.

පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස දහසකට අධිකයි.

කළු සහ ගිං ගංගා මෙන්ම අත්තනගළුඔයේ ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පවතින සුළු ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යමින් ඇති බවයි.

අත්තනගළුඔය , දූනමලේ ප්‍රදේශයෙන් පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි ද අද අලුයම වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් ය.

කළු ගගේ ජල මට්ටම පුටුපාවුල සහ මඟුර ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම ඉක්මවා යමින් ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වලට අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතර සියළු පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමේ

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.

එහිදී මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න