'කටවුට් සහ පෝස්ටර්වල මගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න එපා' - ජනපති

'කටවුට් සහ පෝස්ටර්වල මගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න එපා' - ජනපති

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

එසේ ම සෑම පෝස්ටරයකම ත ම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (ඔක්. 8) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ (07) සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.

වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු. සටන්පාඨ දේශපාලනයයි කටවුට් දේශපාලනයයි අපිව මෙහෙට ගෙනාවා. අන්තිමට ආර්ථිකය කට් වුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතින් හිතමු. මම අනිත් දේශපාලන නායකයින්ටත් කියනවා. තමන්ගේ පින්තූරය හැම පෝස්ටරයකම දාන එක උවමනා නෑ කියලා. මිනිස්සු අපි රූපවාහිනියේ එනවා දැකලා බැන බැන ඉන්නවා. පෝස්ටර්වල දාලා අලවලා ඒ අයට තව එකපාරක් දෙන්නේ අපිට බනින්න..."

තව ද දස වසරක සැලැස්මක් තුළ නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව ත් මහවැලි ව්‍යාපාරයෙන් මග හැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කිරිමට පියවර ගන්නා අතරම නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න