ර/ සීවලී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය ජනාධිපති කාර්‍යාලයේ !

ර/ සීවලී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය ජනාධිපති කාර්‍යාලයේ !

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 152කු මීට එක්ව සිටී අතර කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදි. අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව කතානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරයි.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙය පාසලට හිමි වු සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කළේය.

පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තු එක් කර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංසදයක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත පැහැදිළි කළාය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231010 WA0020

IMG 20231010 WA0022

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න