කවුරු ප්‍රශ්නය ඇති කරත් වගකීම බාරගන්නවා - සුසිල්

කවුරු ප්‍රශ්නය ඇති කරත් වගකීම බාරගන්නවා - සුසිල්

කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසීම් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් මෙතෙක් කලක් ඇති වූ ඒ අයගේ ගැටළු විසඳාගනිමින් ආවා. අයවැය ලේඛනයකුත් ලංවෙන නිසා අපි යෝජනා කරල තියෙනවා, ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සෙසු සේවාවලත් ඇතිව තිබෙන වැටුප් විෂමතා සමනය කිරීමට අයවැයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන් කරල ඒ සම්බන්ධයෙන් පියවර ගන්නේ කොහොමද කියන කාරණය අපි පෙන්වා දීලා තියෙනවා. නමුත් රටේ තියෙන ආර්ථිකයත් එක්ක තමයි භාණ්ඩාගාරය ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නෙ. අපේ යුතුකම අපි ඉටු කරල තියෙනවා.. යැයි පැවසීය.

 වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත් ඊට අනවශ්‍ය අයුරින් කලබලවීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්වය නිසා කිසියම් පාර්ශවයකට අගතියක් හෝ අපහසුවක් වී නම් ඒ පිළිබඳ තම කනස්සල්ල පළ කරන බවත් ඉදිරි සතියේ දී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙහි දී විභාග ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා, විභාග දෙපාර්තමේන්තුව ප්‍රමිතියක් අනුව ප්‍රශ්න පත්‍ර සකස් කරන බවත්, ඒ ප්‍රමිතිය එදා සිට අද දක්වාම ආරක්ෂා කරගෙන සිටින බවත්, මෙවැනි විවේචන එල්ලවන්නේ ඒවා කර්මාන්තයක් කරගත් අය විසින් බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලට කලබල වීම නිෂ්ඵල බවත් සඳහන් කළේ ය.

මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න