ජලය විකුණන්නේ හෝ පෞද්ගලීකකරණය කිරීමක් නෑ - ජීවන්

ජලය විකුණන්නේ හෝ පෞද්ගලීකකරණය කිරීමක් නෑ - ජීවන්

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යාම සඳහා ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම සහතික කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේය.

ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය අරමුදල් සපයා ගැනීම දුෂ්කර වී ඇති නමුත් අතරමැද නැවතී තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති ජනවාරි මාසයේදී ආරම්භ කරන බව ද පැවසීය.

පිරිසිදු ජලය සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති ප්‍රදේශවල කාර්යක්ෂම ජල සංරක්ෂණයක් ඇති කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළ අමාත්‍යවරයා යාපනයේ ලවණ ඉවත් කිරීමේ කම්හලක් සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.

ජල සම්පාදන මණ්ඩලය දේශපාලනීකරණය වී තිබෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ජීවන් තොණ්ඩමන් මහතා ආයතනයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන ආකාරය ද පැහැදිලි කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න