Language Switcher

V2025

වියදම් කරන්න සල්ලි නැත්නම් පළාත් සභා මොකට ද?

අද වන විට තමන්ගේ වියදම තමන්ට ම සපයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග පසුගිය දා (ජන. 4) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

අනෙකුත් සියලු පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වන බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් පළාත් සභා දියුණු කිරීමට අවශ්‍ය නම් එම පළාත් තුළින් ම ශක්තිමත් වී පෙන්වන ලෙසට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, කොළඹින් මුදල් එනතුරු බලා නොසිට පළාත් සභාවල සියලු දෙනා පළාතේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගත යුතු බව පැවසූ හෙතෙම, දේශපාලනඥයන් බලය බෙදීම ගැන කතා කරන ආකාරයට ම එම බලතල පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදා ගත යුතු බව ද ප්‍රකාශ කළේ ය.

විවිධ පාර්ශව දේශපාලනික වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරන බව පැවැසූ ජනාධිපතිවරයා, නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකි නමුත් පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එම බලතලවල ඇති වටිනාකම කුමක්දැයි ප්‍රශ්න කළේ ය.

උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙන බව පැවසූ හෙතෙම ඊට අවශ්‍ය සියලු සම්පත් එම පළාත තුළ තිබෙන බව ද කීය.

උතුර පමණක් නොව රටේ ම සංවර්ධනයට ඊට දායක කරගත හැකි බවත්, ඒ සඳහා දැනට ම ත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා දහතුන් වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතුවලට ප්‍රමාණවත් බව සඳහන් කළේ ය.

උදාහරණයක් වශයෙන් පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් ඊට රජය මුදල් ලබාදෙන තුරු බලා නොසිට පළාත් සභාව මුදල් සම්පාදනය කර ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.