Language Switcher

V2025

රනිල්ගේ කෝපි සාද වැඩකරයි : සජබ 15 ක් සීරුවෙන් !

පසුගිය දවසක සමඟි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙන්නෙක් , ජනාධිපති රනිල් වික්‍රමසිංහව රහසිගතව හමුවෙලා කියලා , ලොකු රාවයක් යනවා. ඊයේ පාර්ලිමේන්තු කැන්ටිමේත් ඔය ගැන ලු කතාව.

මෙම මන්ත්‍රීවරුන් දෙන්නම , ජනපතිට අතිශයින්ම හිතවත් දෙදෙනෙක් ලු.. ආරංචිවල හැටියට කොල්ලුපිටියේ පිහිටි ලක්ෂරි එපාර්ට්මන්ට් එකක ලු ඔය හමුව තිබුනා කියන්නේ. ඒ ආරංචිවල හැටියට කතාව මෙහෙමයි..

“ආ... කොහොමද ඉතිං” - කියමින් ජනාධිපතිවරයා මන්ත්‍රීවරු දෙන්නව පිළිඅරගෙන තියන්නේ ෆුල් වෙල්කම් එකක් දීලලු..

“ඔයාලගේ නායකතුමා මොකද කරන්නේ?” - කියලා අහගෙනලු, ජනාධිපතිවරයා කතාව පටන් ගත්තේ.

“තාම පැහැදිලි තැනක නෑ සර්... මයික් එකක් දැක්කොත් පැය ගණන් කතා කරනවා, එතනින් එහාට කිසිම ඇක්ෂන් එකක් නැහැ. එතුමත් එක්ක ගමනක් යන්න අමාරුයි. දැන් එතුමාව කොන්ට්‍රෝල් කරන්නේ බිස්නස්කාරයෝ දෙතුන් දෙනෙක්.. පක්ෂය පාලනය කරන්නේ විපක්ෂ නායකතුමාගේ යාලුවෝ දෙතුන් දෙනෙක් .. ඒ ගැන මන්ත්‍රීවරුන් හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවා.” - මන්ත්‍රීවරුන් දෙන්නා කියලා.

“සර්, අපි හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒ ප්‍රසිඩන්ට් ඉලෙක්ෂන් එකේදි සර් මොකද කරන්නේ කියලා . අපේ ලොක්කා හිතාගෙන ඉන්නේ සර් එන එකක් නෑ කියලා. ..” - මන්ත්‍රීවරුන් දෙන්නම කියලා .

“කලබල වෙන්න එපා. එතුමට කියන්න මම එනවා කියලා .” -ජනාධිපතිවරයා හිනාවෙවී කියලා.

“මෙහෙමයි සර්.. අපිත් එක්ක 15කට වැඩි මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. එතන පොහෙටේටුවේ ස්වාධීන වෙච්ච කිහිපදෙනෙකුත් ඉන්නවා. ශ්‍රී ලංකා එකේ කිහිපදෙනෙකුත් ඉන්නවා. හැබැයි අපිට යූ.එන්.පී එකට එන්නත් බෑ. ඒක නිසා සර් සන්ධානයක් හදන්න. අපි ඒකට එකතු වෙන්නම්. එතකොට අපිට වැඩ කරන්න ලේසියි.” - ඒ මන්ත්‍රීවරු දෙන්නා කිව්ව ලු..

''ඔව් ඔය පක්ෂ නායකයෝ කීපදෙනෙක්ම වජිරටයි - රවිටයි කියලා තියනවා , එයාලගේ පක්ෂ වලින් එක්කෙනා දෙන්නා කඩලා ගන්න එපා , වෙලාව ආපු හැටියේ, එයාල පක්ෂයක් විදියට ජනධිපතිවරනේදී සහය දෙන්නම් කියලා .'' - ජනාධිපති කියලා.

“ඔව් සර් ... ඉලෙක්ෂන් එක කෝල් කරන්න. අපි එතකොට එළියට ඇවිල්ලා ගේම ගහන්නම්.. සර් අපිට තව ඩේට් එකක් දෙන්න. අපි අනිත් අය එක්ක සර් හමුවෙන්න එන්නම්” ..

එහෙම කියපු ඒ මන්ත්‍රීවරුන් දෙන්නා තවත් බොහෝ දේශපාලන කරුණු කාරණා සාකච්ඡා කර කර ඉඳලා. , මෙයාලා විසිර ගිහින් තියෙන්නේ ජනාධිපතිත් එක්ක කෝපි කෝප්පයකුත් බිව්වට පස්සේ ලු.. ඒ නැවත හැකි ඉක්මනින් හමුවී සාකච්ඡා කරන බවට ගිවිස ගනිමින්..

ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුනත් , සජබේ මන්ත්‍රීවරු හතර පස් දෙනෙක් මලික් සමරවික්‍රම
හරහා මේ වෙනකොටත් රනිල් එක්ක රහස් කතා පටන් අරන්.. ඒත් චන්දයක් call කරනතුරු දැනට ඉන්න විදියටම ඇතුලට වෙලා ඉන්න කියලලු රනිල් කිව්වයි කියන්නේ.

ඔන්න ඒ අස්සේ , පසුගිය 8 වැනිදා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවූයේ විශේෂ සාකච්ඡාවකට..

“සර්.. ප්‍රසිඩන්ට් ඉලෙක්ෂන් එකට එනවා කියලා එනවුන්ස් කරන්න” - ඒ කට්ටිය ඉල්ලීමක් කරලා.

“මම එනවා. ඒකෙ සැකයක් තියාගන්න එපා. හැබැයි ඊට කලින් මම රටේ ආර්ථිකය හදන්න ඕන. අපි ඒ මැච් එකේ අන්තිම ඕවරේ ඉන්නෙ. හදිස්සියේ ඡන්දයකට ගිහිල්ලා ආපහු අනාගන්න බැහැ.” ජනාධිපතිවරයා කට්ටියට කියලා.

ඒ සාකච්ඡාවලින් පස්සේ, ජනාධිපතිවරය පසුගිය 9 වැනිදා එ.ජා.ප කළමනාකරණ කමිටුව කැඳවලා තිබුනා. එතනදීත් ඇදිලා තියෙන්නේ ජනාධිපතිවරණය ගැන..

'' සර් , ජනාධිපතිවරණයට එනවා කියලා එනවුන්ස් කරන්නේ කවද්ද.. සර් චන්දෙට එන්නේ නෑ කියලා සජිත්ලා , චම්පිකලා , නාමල්ලා ලොකු කැම්පේන් එකක් ගෙනියනවා '' - ක්‍රිෂාන්ත තියඩෝර් කියලා . ඒ කතාව ලංකා බැංකු සභාපති රොනල්ඩ් පෙරේරාත් අනුමත කරලා.

'' දෙගිඩියාවක් තියාගන්න එපා. මම අනිවාර්යයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා .. නමුත් රටේ ආර්ථිකය හදන්න ගෙන යන වැඩපිළිවෙල අවසන් කරන්න තවත් මාස කීපයක් දෙන්න '' ඔහු කළමනාකරණ කමිටුවෙන් ඉල්ලීමක් කරලා.

ඔන්න ඊට පස්සේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉදිරි ජනාධිපතිවරණෙ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කරලා.

'' මම ඉදිරිපත් වෙන්නේ UNP අපේක්ෂකයා විදියට නෙමෙයි, නිර්පාක්ෂික අපේක්ෂකයා විදියට. එතකොට අපේ ආර්ථික වැඩපිළිවෙල අනුමත කරන ඕන කෙනෙකුට මට සහය දෙන්න පුළුවන් නේ ..සමහරුන්ට කෙලින්ම මට උදව් කරන්න පුළුවන්.. නැත්තන් 2015 දී JVP එක කළා වගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර උදව් කරන්නත් පුළුවන්.. ''

'' කොහොමටත් මෙදා සැරේ ජනාධිපතිවරනෙට අපේක්ෂකයෝ ගොඩක් ඉදිරිපත් වුනාට මොකද , අන්තිමේදී ගොඩවල් දෙකකට බෙදෙනවා. අපේ ආර්ථික වැඩපිළිවෙල අනුමත කරන කණ්ඩායම හා අපේ වැඩපිළිවෙලට විරුද්ධ කණ්ඩායම විදියට. මෙතන මැදක් කියලා එකක් නෑ .'' . - ජනාධිපති වික්‍රමසිංහ එහෙම කියද්දී කට්ටියම ඔලුව වනමින් ඒ කතාව නිහඬවම අනුමත කළා ලු..

  • දේශපාලන වාර්තාකරු