Language Switcher

V2025

ත්‍රිරෝද රථවල‌ටත් QR කේතයක්

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) පිහිටුවනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාලව අද පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.

ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.

දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාලව කිව්ආර් කේථයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේථය හදුන්වා දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.

ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පියවර ගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.

එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.