Language Switcher

V2025

දයා රත්නායක සජබට ගත්තා නම් ගෝඨාවත් ගන්න පුළුවන් : SF දැඩි ප්‍රහාරයක !

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂයට එක්කර ගත්තා නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පක්ෂයට එක්කර ගත හැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (30) කොළඹ පැවැත්වූ හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී දයා රත්නායක සමගි ජනබලවේගය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල කර සිටියේය.

තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක විසින් බවත් ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා ඔහුට ඉදිරියට ගෙනවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේය.

තමන් මේ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් ඔහු සඳහන් කළේය.

එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස - දයා රත්නායක හමුව සිදුවූ අවස්ථාවේ තමන් ගැන ( සරත් ෆොන්සේකා ගැන) දයා රත්නායක වර්ණනා කළ බව සජිත් ප්‍රේමදාස පැවසු බව සඳහන් කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ අදාළ හමුව සිදුවීමට පෙර ඒ සම්බන්ධව තමන්ව දැනුවත් කිරීමටවත් පක්ෂ නායකත්වය ක්‍රියා නොකළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද තමන් දේශපාලනය කර ඇති නමුත් ඔහු කිසිඳු අවස්ථාවක මේ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් නොකළ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය.