කඳුරට ජනතා ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නැහැ !

කඳුරට ජනතා ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නැහැ !

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව පැවසූ අමාත්‍යවරයා යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත් නොකරන ආකාරයකට සිදු කරන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය.

“මෙම වසර තුළ අප ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. පසුගිය වසරේ අප හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී පවතිනවා. නමුත් එම සකස් කරන ලද ජල සූත්‍රය පිළිබඳ අප තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

ඇතැම් දේශපාලන පක්ෂ එක්ව කඳුරට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කර තිබෙනවා. කඳුරට දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය වන්නේ නැහැ. කඳුරට දෙමළ ජනතාව දිගු කාලයක් මෙවැනි සන්දර්ශන දැක තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ දෙන වචන ක්‍රියාවෙන් සිදු කර පෙන්වීමයි. අප කැපවී සිටින්නේ ඒ සඳහායි.

ඇතැම් දේශපාලන නායකයන්ට අනුව වතුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන එකම ප්‍රශ්නය දෛනික වැටුප ලෙස රු.1500.00ක මුදලක් ලබා ගැනීමයි. මම මගේ ජනතාව එවැනි පහත් මට්ටමක තැබීමට කැමති නැහැ. ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කවර කණ්ඩායමක් දේශපාලනික වශයෙන් කුමන ස්ථාවරයක් දැරූවද සුළු ජන කොට්ටාසයකගේ ගැටලු විසඳීමේදී දේශපාලනික වශයෙන් බෙදීම් නොපැවතිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයයි. මගේ ස්ථාවරය ද එයයි. එම ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදී එලෙස එක්වන ලෙස ආරාධනා කළත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙකු දේශපාලනික පටු සීමා තුළ කටයුතු කරමින් සිටිනවා.

2015 වසරේදී යෝජනාවී තිබුණේ නිවාස 14,000ක් ඉන්දීය ණය ආධාර යටතේ ද, නිවාස 10,000ක් ශ්‍රී ලංකා රජය මඟින්ද වන ලෙස කඳුරට දෙමළ ජනාතාව වෙනුවෙන් මුළු නිවාස 24,000ක් ඉදි කිරීමටයි. 2022 වසර වන විට පැවති කොවිඩ් - 19 වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා මෙම නිවාස ඉදිකිරීම සම්පූර්ණයෙන් ඇන හිටියා. ඒ වන විට ශ්‍රී ලංකා රජයෙන් ඉදිකර තිබුණේ නිවාස 1560ක් පමණයි. මෙම නව නිවාස 10,000 ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණේ, ඉන්දීය රජය පෙර ලබා දුන් නිවාස 4,000 ව්‍යාපෘතියෙහි වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වූ නිසයි.

නිවාස පමණක් නොවෙයි මෙම ජනතාවට ඉඩම් අයිතිය ද ලබා දිය යුතුයි. කඳුකර දෙමළ ජනතාව දිගු කාලයක් පුරා පුළුල්ව පැතිරුණු ගැටලු රාශියකින් පීඩා විඳිනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම ආදී මේ දක්වා නොවිසඳුණු ගැටලු රාශියක් ඔවුන්ට පවතිනවා. මෙම ගැටලු සඳහා තිරසර විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙත් මාගේත් ස්ථාවරය බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අප කටයුතු කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න