මෛත්‍රීට නිවසක් දීමට ගනුලැබූ කැබිනට් තීරණය බල රහිත කරයි !

මෛත්‍රීට නිවසක් දීමට ගනුලැබූ කැබිනට් තීරණය බල රහිත කරයි !

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඊට අදාළ 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර තිබිණ .

එය විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න