Language Switcher

V2025

කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.

තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් "ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා " ස්වාමීනි...මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි ." යනුවෙන් කියා සිටියේය.

මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.

බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.

ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.

පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

 ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.

ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(උපුටා ගැනීම -BBC සිංහල සේවය )