ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළට බංග්ලාදේශයේ සහාය

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළට බංග්ලාදේශයේ සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ සහතික වූවාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී බංග්ලාදේශ අගමැතිනිය මේ බව සඳහන් කළාය.

සමූපකාර ක්‍රමවේදය අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී එකඟතාවය පළ කළේය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසුව බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පොරොන්දු වූවාය. දෙරටේ ආයෝජන මණ්ඩල සම්බන්ධීකරණය කරමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ද නායක දෙපළ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

බංග්ලාදේශයේ පැවැත්වෙන බිම්ස්ටේක් සමුළුවට සහභාගී වන ලෙස මෙහිදී බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කළ අතර එම සමුළුව පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයක් බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන  සහභාගී කරවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බංගලාදේශ අගමැතිවරියට දැනුම් දුන්නේය.

මැතිවරණයෙන් පසුව තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිවරිය වෙත පොරොන්දු විය.

මෙහිදී අදහස් දැක් වූ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා  වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවයි.

එම කටයුතු වෙනුවෙන් බංග්ලාදේශයෙන් මෙන්ම ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඒ වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන ශ්‍රී ලංකා දූත පිරිස සහ බංග්ලාදේශ දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න