Language Switcher

V2025

IMF එකඟතා කඩ කළ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මෙරටට අහිමි වෙනවා "

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මො‍හොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරයි.

ඒ සමඟ මෙරට විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාද අහිමිව රට බරපතල අර්බූදයකට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවේදීය.

උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරමින් ජනතාවට සහන සැලසීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඊට අදාළ අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කිරීම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා” අද එළි දක්වනු ලැබුවා. ආර්ථික අර්බුදය හමුවේ අගාධය වැටී තිබු රට ජීවත් වීමට හැකි රටක් බවට පරිවර්තනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. වෙන කිසිවෙකු එම අභියෝගය භාර ගන්න උනන්දුවක් දැක් වූයේ නැහැ. ඒ වගේම එම අභියෝගය භාර ගන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැහැ.

පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් වන්නේ අපි ගොඩ නගා ගත් ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාම සඳහායි. මෙම වැඩසටහන තව දුර‍ටත් ඉදිරියට ගෙන යමින් ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කර ගන්නවාද නැද්ද යන්න සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව තීන්දු කළ යුතුයි.

මේ අවස්ථාවේ දී මෙරට වැදගත්ම කාණය වන්නේ ආර්ථිකයයි. බොහෝ පාර්ශ්ව ආර්ථිකය සම්බන්ධව විවිධ යෝජනා ඉදිරිපත් කළත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනී යනවා. කඩා වැටුණු මෙරට ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප බොහෝ දෙනෙක් කැපවීමෙන් කටයුතු කළා. ඒ අවස්ථාවේ අපගේ වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමට සහ අපි අසාර්ථක වනු ඇතැයි සිතා හිනා වූ අය අද ජනතාව ඉදිරියට පැමිණි පොරොන්දු දෙන ආකාරය සාදාචාරාත්මක ද කියා ඇසිය යුතුයි.

මේ වන විට අප ලබා ගත් ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභ ජනතාවට ක්‍රමවත්ව ලබා දෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා නිරන්තරයෙන් පැවසු කරුණක් වූයේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වන විට ඉන් එක් කොටසක් රටේ ආර්ථිකය ශක්තිමත් කර වීමට යෙදවිය යුතු බවත්, අනෙක් කොටස ප්‍රතිසංස්කරණ වැඩසටහන හමුවේ ඇතිවූ බලපෑම අවම කිරීමට ජනතාව වෙත ලබා දිය යුතු බවයි.

ඒ අනුව ජනාධිපතිතුමා විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කර විෂමතා ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව මත රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 55000 ක් වන ආකාරයට වැටුප් ඉහළ දැමීම සිදුවෙනවා. එය ලබන වසරේ සිට ලබා දීමට හැකි වෙනවා.

ඒ වගේම අපට ප්‍රධාන ඉලක්ක කිහිපයක් තිබෙනවා. එහි දී අයවැය සකස් කිරීමේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක පවත්වා ගත යුතුව තිබෙනවා. නමුත් එක් එක් පක්ෂ දී තිබෙන යෝජනා දෙස බැලූ විට ඇතැමුන් IMF වැඩසටහන සංශෝධනය කරන බව පවසනවා.

නමුත් මා ඉතා වගකීමෙන් සඳහන් කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ හැර විපක්ෂය ලබා දෙන පො‍රොන්දු මත ක්‍රියාත්මක වුවහොත් එය ක්‍රියාත්මක කරන මොහොතේ දීම මේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අහිමි වන බවයි. ඊට හේතුව අප අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2% ක ප්‍රමාණයක පවත්වා ගත යුතුයි. විපක්ෂය සඳහන් කරන පොරොන්දු ඉටු කළ හොත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.9 % ක් දක්වා පුළුල් වෙනවා. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3% ක පවත්වා ගැනීම අපගේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වනවා. නමුත් විපක්ෂය කියන පොරොන්දු ඉටු කිරීමට ගිය හොත් ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3% සිට සෘණ 4.3% දක්වා පහත වැටෙනවා. එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ අනුව එම වැඩසටහන අප රටට අහිමි වෙනවා. අප මෙරට ණය හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා ද අහිමි වෙනවා. පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා ද අහිමි වෙනවා. ඒ නිසා මෙවැනි තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු නොකර පොරොන්දු ලබා දීම සාධාරණ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් සංවිධාන සමඟ සිදු කරන සාකච්ජාවල තීන්දු තීරණ පැය 24 න් ගත නොහැකි අතර, ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ බදු ගෙවන පාර්ශ්ව වෙත සහන ලබා දීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාළව අපි 2023 සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා ආරම්භ කළා. ඒ අනුව දැනට අදායම් බද්දට අදාළව බදු නිදහස් සීමාව වන වර්ෂයකට ලක්ෂ 12 ක ප්‍රමාණය ඒ අයුරින් රඳවා ගැනීමටත් ලක්ෂ 5 සීමාව හත්ලක්ෂ විසිදාහස දක්වා ගෙන යාමට මේ වන විටත් IMF සමඟ වන සාකච්ජාවලදී එකඟතා ඇති කර ගනිමින් සිටින අතර, 2025 අප්‍රේල් මාසයේ සිට අදාළ බදු අඩු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

එහි දී අපෙන් විමසන ප්‍රශ්නයක් වන්නේ බදු අඩු කළ විට අහිමි වන ආදායම නැවත අය කර ගන්නේ කෙසේ ද යන්නයි. එම අහිමිවන ආදායම ආවරණය කර ගැනීමට IMF සමඟ අප එකඟතාවයකට පැමිණ සිටිනවා. එහිදී දැනට පනවා තිබෙන බදු මත අමතර පීඩනයක් හෝ නව බදු අය කිරීමට සිදු වන්නේ නැහැ. අප මෙම බදු සංශෝධනය ඉදිරිපත් කරන්නේ ක්‍රමානුකූලව සහ නැවත කඩා වැටීමකට ලක් නොවන ආකාරයටයි.

ඒ වගේම ඇතැම් පාර්ශ්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු රුපියල් බිලියන 1000ක් පමණ තිබෙන බවත් ඒවා නිසි ලෙස අය කර නොගන්නා බවත් ප්‍රකාශ කරනවා. නමුත් එයින් රුපියල් බිලියන 868ක් ‍වෙත බදු අභියාචනා ඉදිරිපත්ව තිබෙනවා. 2023 වන විට හිඟ බදු රුපියල් බිලියන 188ක් තිබූ අතර,2024 වසරේ පළමු මාස හය තුළ එම හිඟ බදු වලින් රුපියල් බිලියන 104 ක් අය කර ගෙන තිබෙනවා. ඒ අනුව අප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බදු ගෙවන අයට නිදහසක් ලබා දී තිබෙනවා වගේම බදු පරිපාලනය ද කාර්යක්ෂම කර තිබෙනවා.

තවද මෙරට දුප්පත් සහ අවධානමට ලක් වූ ජනතාවට සහන සැලසිම වෙනුවෙන් අස්වැසුම නමින් විධිමත් ක්‍රමවේදයක් අප විසින් හඳුන්වා දුන්නා. එමඟින් ඉතාම දුප්පත් පවුලක් සඳහා රුපියල් 15000ක මුදලක් ලබා දෙනවා. මේ ආකාරයට ඛාණ්ඩ තුනක් යටතේ පවුල් ලක්ෂ විසිහතරක් වෙනුවෙන් රුපියල් බිලියන 205 වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මේ වන විටත් කිසිම දේශපාලන මැදිහත් විමක් නොමැතිව පවුල් ලක්ෂ 18ක් අස්වැසුම ප්‍රතිලාභ ලබනවා.

ඒවගේම මේ වන විට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරනවා. එහි දී ආර්ථික ක්‍රියාකාරීත්වයට වැඩි දායකත්වයක් සපයන වාහන සහ මහජන අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කිරීම පළමුව සිදු කෙරෙනවා. පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධයෙන් වහ සිමා ලිහිල් වන්නේ ඉන් අනතුරුවයි. මෙය ඉතා ක්‍රමානුකූලව සිදු කළ යුතු කටයුත්තක් බව පැවසිය යුතුයි.

2022 වසරේ ඩොලර් මිලියන 20ක් වූ අප විදෙස් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 5.6 ක් දක්වා වැඩි කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ඒ අතරතුර අප ණය ගෙවීම ද සිදු කර තිබෙනවා. අප ද්වීපාර්ශ්වික වශයෙන් ගත් ණය ගෙවීම තාවකාලිකව නතර කළත් බහුපාර්ශ්වික වශයෙන් සහ තවත් තෝරා ගත් ඛාණ්ඩවලට අදාළ ණය ගෙවීම් සිදු කර තිබෙනවා. මෙම කටයුතු සිදු කළ යුත්තේ 2022 වසරේ මෙන් විදෙස් සංචිත වෙත බලපෑමක් සිදු නොවන ආකාරයට බව අවධාරණය කළ යුතුයි.

විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්‍රි :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට “පුළුවන් ශ්‍රී ලංකා” යන නම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා.2022 වසරේදී බොහෝ දෙනා අපිට බැහැ කියලා මේ රට බාර ගන්නත් අකමැති වුණා. නමුත් කිසිවකුටත් කළ නොහැකියි පැවසූ සියලු දේ අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ කණ්ඩායමත් සමඟ කරලා පෙන්නලා තිබෙනවා. ඒ නිසයි අප කියන්නේ රට තවදුරටත් ඉදිරියට ගෙන යාම අපට කරන්න පුළුවන් කියලා. ඒ වගේම අභියෝගාත්මක අවස්ථාවන්හිදී බියේ දුවන එක නොවෙයි වැදගත් වන්නේ , ඊට මුහුණ දීමයි. අප මෙම පස් වසරක මෙහෙයුම “පුළුවන් ශ්‍රී ලංකා” ලෙස නම් කළේ මේ කාරණා ‍නිසායි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය www.ranil24.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකියි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සුරංගනා කතාවක් නොවෙයි. මෙය ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන යන ප්‍රධාන අංග 5කින් සමන්විත වෙනවා.

මෙහි අන්තර්ගත සියළු දේ සිදු කරන ආකාරය පිළිබඳව මෙහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. කළ නොහැකි කිසිවක් මෙහි සඳහන් නොවන අතර මෙහිදී සිදු වන්නේ පසුගිය දෙවසර තුළ අප සිදු කළ දේ තව දුරටත් ඉදිරියට ගෙන යාම පමණයි. එනම් අප අත්පත් කර ගත් ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාමයි.

එහිදී ජනාධිපතිතුමාගේ ක්‍රියාවලිය ජීවන වියදම අඩු කීරීම, රැකියා නිර්මාණය කිරීම , බදු බර අඩු කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියටත් කර ගෙන යාම මෙන්ම මේ රටේ ඉන්න සියළුම පුරවැසියන්ට බිම්කොටසක සින්නක්කර අයිතිය ලබා දීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට දේපළ අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් හා කඩිනම් කිරීම සඳහා වෙනම අධිකාරියක් ස්ථාපත කර එමඟින් උරුමය වැඩසටහන ඔස්සේ මිලියන දෙකක ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම්ලාභී නිවාසවල අයිතිය එම නිවැසියන්ට පැවරීම වසර 4ක් තුළ අවසන් කිරීමට නියමිතයි.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විශ්ව විද්‍යාල පුළුල් කිරීම , විශ්ව විද්‍යාල හා අනුඅබද්ධ විද්‍යාපිඨ ඇති කිරීමට බලාපොරොත්තු වෙනව. ඒ තුළින් විශ්ව විද්‍යාල වලට ඇතුල්වන සිසුන් ප්‍රමාණය වැඩි කිරීමටත් ඒ හා සමානව විශ්ව විද්‍යාල වරම් නොලබන පිරිසට තාක්ෂණික ඥානය ලබාදීම සඳහා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරනවා

ඒ වගේම රාජ්‍ය සේවකයා කෙරෙහිද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. තවද කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කාන්තා මූලික පවුල්වලට මිලියන 3ක් දක්වා වු ණය මුදලක් ලබා දීමට කටයුතු කරනවා.

ත්‍රිරෝද රථ රැකියාවේ නිරත පිරිසට පැවති ආර්ථික පසුබිම හේතුවෙන් ඔවුන්ට විශේෂ ණය මුදලක් ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු හරහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනව. රාජ්‍ය බැංකුවකින් ගිනි පොලියට ණය ගෙන තිබෙනවා. නම් එයින් ඉවත් වී සාධාරණ පොලියකට තමන්ගෙ දේපළ ආරක්ෂා කර ගැනිමේ හැකියාව එමඟින් ඔවුන්ට හිමි වෙනවා. මේ අතර පෞද්ගලික බැංකු සමඟද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනව.

එසේම ඩිජිටල්කරණය සෑම ක්ෂේත්‍රයකටම හඳුන්වා දීමටත් තරුණ ප්‍රජාව ඩිජිටල් කරණයට නැඹුරු කිරිම තුලින් මෙරට ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට කටයුතු කරනවා. ඔවුන්ට අදාළ අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යත්වය ලබා දීමට ත්, අඩු පොලියට ණය මුදලක් ලබා දීමටත් කටයුතු කරනවා.

දූෂණය පිටු දැකීමට පනවා ඇති නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් නීති ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින් කාර්යක්ෂතාව ඉහළ නැංවීමටද බලාපොරොත්තු වෙනවා.
තවද පළාත්සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරමින් හැකි විගස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන අතර මෙරට සාමය සංහිඳියාව ගොඩ නැඟීමේදී කිසිදු විදේශීය බලපෑමකට යටත් නොවන බවද සඳහන් කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙලට අනුව නැගෙනහිර නවෝදාය තුලින් බලශක්ති, ප්‍රවාහන, වරාය,නාවුක හා ගුවන් කර්මාන්ත යන අංශවලින් සමන්විත ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරන බව සඳහන් කළ යුතුයි. වෙරුගල් ආරු සිට පානම දක්වා කුමන වෙරළ තිරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිදි සංවර්ධනය කිරීමටත්, සැඩඔය ව්‍යාපෘතියට 2025 වසරේදි ආරම්භ කරන බවත් මම මෙහිදී ප්‍රකාශ කරනවා.

එසේම ‘වතුකරයට හිරු පායයි’ විශේෂ වැඩ සටහන ඔස්සේ රු 1700ක් දක්වා වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ඉඩම් හිමිකම ලබා දීමටද අප කටයුතු කරනවා.

තවද මේ වන විටත් ආරම්භ කර තිබෙන කෘෂී නවීකරණ වැඩසටහන යටතේ අපනයනය පාදක කර ගත් ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක බව කිව යුතුයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ වැඩපිළිවෙලේ දිගුවක් ලෙස අප දකිනවා. පැවති ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටී තිබුණා. එම කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමග පස් වසරක ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පාසල් හැරයන කරන දරුවන් සඳහා රාජ්‍ය අංශය සහ පෞද්ගලිකාංශය ඒකාබද්ධ කරගෙන රැකියා පුහුණු පාඨමාලාවක් ලබාදීමටද යෝජනා කර තිබෙනවා. ඒ සඳහා දරුවෙකුට රුපියල් තිස් පන්දාහක මාසෙකදීමනාවක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

රැකියා විරහිත තරුණ තරුණයෙන් අවම කිරීම මෙමගින් අපේක්ෂා කරනවා. මේ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 50ක මුදලක් වෙන් කිරීමටද යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ජනාධිපතිවරයා රුපියල් 15000ක ජීවන වියදම් දීමනාවක් පසුගිය වසර දෙක සඳහා ලබා දී තිබෙනවා. ඒ වගේම ලබන වසරේදී රුපියල් 25000ක වැටුප් වැඩි කිරීමක් යෝජනා කර තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමටද යෝජනා කර තිබෙනවා.

කුසලතාවය මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. නිවසේ සිට කළ හැකි ඩිජිටල් සේවාවන් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා. ආසියාවේ අඩුම විදුලි බිල තිබෙන රට ලංකාවයි.එය ඉදිරියටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර පහ තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව පවත්වාගෙන යාමට ද මෙමඟින් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමටද සැලසුම් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ තුළ අපනයන ආදායම් වැඩි කිරීමටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. බිංගිරිය ආයෝජන කලාපය, කන්කසංතුරේ පරන්තන් ආයෝජන කලාපය ඇති කිරීම, සපුගස්කන්ද ආයෝජන කලාපය පුළුල් කිරීම සම්බන්ධවත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ ජීවත් වෙන්න බැහැ කියපු යුගයක රට බාරගෙන රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට ගෙන එමින් ජීවත්වීමට ‘පුළුවන්’ පරිසරයක් නිර්මාණය කළ එකම නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

අනෙක් දේශපාලන පක්ෂ ලබාදී තිබෙන පොරොන්දු හුදෙක්ම සිහින පොරොන්දු බව කිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලූ විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක කාලය තුළ ලබා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ යෝජනාද එහි අඩංගු වී තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැම පනතක් වෙනුවෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්දය නම් ලබාදී නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කර තිබෙනවා.