Language Switcher

V2025

“මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වහා ම සිය ධූරයෙන් ඉවත් කළ යුතුයි”- ගම්මන්පිල

පාස්කු දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිසමකින් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට හෝ විමර්ශනයක් සිදු කිරීමට නිර්දේශ කර තිබූ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන රවී සෙනවිරත්න වහා ම සිය ධූරයෙන් ඉවත් කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේදී අද (ඔක්. 21) පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අපරාධයකට නඩු පැවරිය යුතු බවට කමිටුවක් නිර්දේශ කර තිබෙන සහ ඊට අදාළ සාක්ෂි ඇති පොලිස් විමර්ශනයක සැකකරුවෙකු වන රවී සෙනවිරත්න එම තනතුරේ සිටින තුරු පොලිසියෙන් කිසිවෙකුට යුක්තිය බලාපොරොත්තු විය නොහැකි යැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

විශේෂයෙන් පාස්කු දා එල්ල වූ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන්ට ඒ පිළිබඳව යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, බලයට පත් වී පළමු මාසය තුළ ම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වහා ම ජාතියෙන් සමාව ගත යුතු බව ය.

විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කර තිබූ බව ත් පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිසියෙන් හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් සිදු වුණා ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මේ කමිටුවේ විෂය පථය වී තිබූ බව ත් ඔහු අවධාරණය කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමට සතියකය පෙර 2024 සැප්තැම්බර් 14 වන දා එවක සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වාර්තාව භාර දී ඇති බව ය.

පාස්කු දින වාර්තාවේ 40 වන පිටුවේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක විසින් 2019 අප්‍රේල් මස 19 වන දා මොහොමඩ් සහරාන් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකට ම මරා ගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බවට විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලිපියකින් දැනුම් දෙන බව ද එහි එම ත්‍රස්තවාදීන්ගේ නම් ලිපි දුරකතන අංක, ජාතික හැඳුනුම්පත් අංක ඇසුරු කරන පුද්ගලයන් ඇසුරු කරන පුද්ගලයන් හා ගැවසෙන ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය දැරුවේ වත්මන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන රවී සෙනවිරත්න බව ය.

විදේශයෙන් ලැබුණ එම ලිපිය සතියක් තිස්සේ කිසිදු අවධානයකට ලක් නොවී රවී සෙනවිරත්නගේ මේසය මත තිබූ බව ත් එම අනතුරු ඇඟවීම අඩංගු ලිපිය දවස් 12ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රස්තියාදු නොවී තිබුණා නම් මේ මහා විනාශය වළක්වා ගැනීමට තිබූ බව ත් ඔහු සඳහන් කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම වාර්තාවේ 41 වන පිටුවේ මේ සාපරාධී නොසැලකිල්ල මත රවී සෙනවිරත්නට අපරාධ චෝදනා යටතේ නඩු පවරා දඬුවම් කළ යුතු යැයි ද කමිටුව නිර්දේශ කර තිබෙන බව ය.

එමෙන් ම, අල්විස් වාර්තාවේ 14 වන පිටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීම නිසා නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සාපරාධී නොසැලකිල්ල සඳහා අපරාධ නඩු පවරන ලෙස නිර්දේශ කර තිබෙන බව ත් රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් ද ඇතුළුව නිලධාරීන් 17 දෙනෙකුට අපරාධ නඩු පැවරීම විනය ක්‍රියා මාර්ග ගැනීමට මේ කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුවට තවම මාසයක්වත් නොමැති බව ත් සිය පළමු මාසය තුළ බරපතළ වරදක් කරගත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ ම නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස යන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හරහා ජනාධිපතිවරයා චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථාව උල්ලංඝණය කර ඇති බව ත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38 වන වගන්තියේ අනුව ජනාධිපතිවරයා ධූරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට මේ කාරණා ප්‍රමාණවත් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.