ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය...
ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන දෙමින් නිරන්තරයෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාස ඇතුළු සමගියේ ටීම් එක, පසුගිය සතියේ ආණ්ඩුවේ නිරුවත යළිත් වරක් රටට හෙළිදරව් කළේ කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් සමගය.
ඔක්තෝම්බර් 09 වැනිදා න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද චෝදනා 50න් යුතු එම යෝජනාව පසුගිය 03වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් ආණ්ඩුව එය මඟහැරියේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා විනාශ කරමින්ය.
ඒ සමඟම විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර කරුණු විමසීමට සජිත් ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රිවරු තීරණය කළ අතර, ඒ අනුව එය කඩිනමින් සකසා කථානායක කාර්යාලයට බාරදීමටද සජිත් පියවර ගත්තේය.
එහෙත් ඊට මුහුණදීමට නොහැකි වූ කථානායක ජගත් වික්‍රමරත්න, පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කථානායකවරයාට පවරා පාර්ලිමේන්තුවෙන් පලාගොස් තිබිණි.
සිය වරප්‍රසාද ප්‍රශ්නයට ඉඩදෙන්නැයි විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි විසින් ප්‍රතික්‍ෂේප කළේ, එය අධ්‍යයනය කිරීමට තමන්ට නොහැකි වූ බව පවසමිනි. ඒ මොහොතේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් විය.
එක්වරම අසුනින් නැගී සිටි මුජිබර් නියෝජ්‍ය කථානායකවරයාට කීවේ “බයවෙන්න එපා... මේක විවාදයට ගන්න ඉඩ දෙන්න” කියාය.
අජිත් පී පෙරේරාද විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම ගැන කරුණු දැක්වීමට පියවර ගත්තේය. “රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන චෝදනා 17ක්. අල්ලස් චෝදනා 20ක්. අපක්‍ෂපාතීත්වය ගැන චෝදනා 13ක්. මෙච්චර බරපතල චෝදනා එල්ලවී තිබියදී මේ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. චෝදනාවලට බයේ කථානායකවරයා අද පැනල ගිහිල්ල. ව්‍යාජ රීති ඉදිරිපත් කරමින් විවාදය අවලංගු කරන්න ආණ්ඩුවට අයිතියක් නෑ.”
සජබ විරෝධයෙන් ආණ්ඩුව තිගැස්සෙයි...

නියෝජ්‍ය කථානායකවරයාගේත් ආණ්ඩුවේත් නොහික්මුණු හැසිරීම තුළ විපක්ෂ කණ්ඩායම සභා ගර්භය මැදට පැමිණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සත්‍ය යටපත් නොකරන ලෙසය. “කවුද ගත්තෙ ගෙවල් දෙකක්” අජිත් එහෙම කියද්දී සමගියේ ටීම් එක “කථානායක ගත්තෙ ගෙවල් දෙකක්” කියමින් විරෝධය දියත් කළේය. “කවුද ගත්තෙ කොට්ට දෙකක් - කථානායක ගත්තෙ කොට්ට දෙකක්” වැනි දේවල්ද විරෝධතාව අතරතුර ඇසෙන්නට විය. ඒ මොහොතේ කරකියා ගැනීමට දෙයක් නොමැතිව සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් බොහොමයක් සභා ගර්භයෙන් එළියට යන ආකාරය, මාධ්‍ය කුටියේ සිටි මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකි විය.
විපක්ෂයේ විරෝධයට එරෙහිව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලීන්ද ජයතිස්ස “ඔයාලා සභාව මැදට ඇවිත් ජගත් විතානට හොරා හොරා කියනවා. මොකද්ද මේ කරන්නේ” යනුවෙන් විමසද්දී දෙපාර්ශවේයම වාග් ප්‍රහාර මැද අජිත් පී පෙරේරා මහ හඬින් ඊට උත්තර දුන්නේය.
“අපි චෝදනා කරන්නේ ඔයාලගෙ හොර කථානායක ජගත්ට, හොරකම් කරපු, බලය, මහජන දේපළ අවභාවිත කරපු ඔයාලගේ කථානායකට මිසක් අපේ ජගත්ට නෙමෙයි. ඔයාලට පුලුවන්ද ජගත්ට ලංවෙන්න. අපේ ජගත් මිනිස්සුන්ට උදව් කරන මිනිහෙක්, ඔයාලගේ ජගත් හොරෙක්. නලීන්ද ඇමතිතුමා ඔයා ගොන් කතා කියන්න එපා...” අජිත් සද්දෙටම කීවේය.
මෙම විරෝධතාව මතම යැපෙමින් කාලය කාදමන්නට සජිත් ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම කටයුතු කළේ නැත. කබීර් හෂීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආණ්ඩුවේ කණ්වල ඇගිසි ගසා ගන්නට කථාවක් කළේය.
“මොන දේ තිබුණත් වරප්‍රසාද ප්‍රශ්නයක් ඇසීමට ඉඩදිය යුතුමයි. ජේ.වී.පී. එකට මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන අවබෝධයක් නැති බව ඔබලා අදත් රටටම පැහැදිලි කරලා දුන්නා.”
බෝම්බ ප්‍රහාර හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය...

ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන විපක්ෂයට කරුණු කියා දෙන්නට ආ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගලට, මන්ත්‍රී හර්ෂ ද සිල්වා කන පුපුරණ උත්තරයක් දුන්නේය. “පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහපු කට්ටියක් අද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතාකරනවා. ඇත්තටම මේක විහිළුවක්නේ.”
ආණ්ඩුවේ භීතියට ඇත්තම හේතුව…

රම්‍ය, සුරම්‍ය, සුබ කියලා මාළිගා තුනක් අයථා ලෙස අත්පත් කරගෙන සිටින කථානායක ජගත් වික්‍රමරත්න ඇයි මේ හැංගෙන්නේ. අජිත් පෙරේරා එසේ කියද්දී කථානායකගේ මේ මඟහැරීමට තවත් හේතුවක් ඉදිරිපත් කළේ මරික්කාර්ය.
“දැන් බලන්න උදේ හිටපු බිමල් දැන් සභාවේ නෑ. හරියට කොට්ට තිබ්බ තැන කොට්ට නෑ වගේ. පැහැදිලිවම ආණ්ඩුව තුළ බෙදීමක් තියෙනවා. විශ්වාසභංගය විවාදයට ගත්තොත් කතානායකගේ පැටිකිරියම එළියට යනවා, ආණ්ඩුවේ බෙදීමත් රටම දැනගන්නවා.” විශ්වාසභංගය මඟහැරීම ගැන මරික්කාර් කරුණු පැහැදිලි කළේ එලෙසය.
අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් ඇති වූ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළේය. සජිත් කීවේ විශ්වාසභංගය විවාදයට නොගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම එම පාර්ලිමේන්තු නියමයන් උල්ලංඝණය කිරීමක් බවය. “විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් කැපකිරීම් කිරීමට සිදුවන යුගයක් උදාවෙලා.”
පාර්ලිමේන්තු සංයුතිය ගැන කියපු ලක්මාලිට පාඩමක්...

සමගියේ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ අතීත සිදුවීම් ද උපුටා ගනිමින් අදහස් දැක්වීය. “ලක්මාලිත් සුපුරුදු සද්ද දාල ගියා. එයා කියනවා පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව දිනන්න බැරිලු. ඒ නිසා මේක ගෙනැල්ල වැඩක් නෑලු. කෙහෙළිය සෞඛ්‍ය ඇමති කාලේ බාල බෙහෙත් ගෙනැල්ල ජීවිත එක්ක කළ සෙල්ලමට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවෙත් අපි. එදත් අපිට බහුතරයක් හිටියේ නෑ. අගමැති හරිනියි, විජිතයි දෙන්නම ඒ කාලේ විපක්ෂයේ ඉඳන් ඒකට අත්සන් කළා. ඒත් ඒ අය අද හැසිරෙන හැටි තමයි මේ.”
කතානායකට එරෙහි සාක්‍ෂිවල පිටපත්ද සභාවට ඉදිරිපත් කරමින් චිත්‍රාල් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, “මේ සියලු චෝදනා ඇත්ත. අපි මේ කිසිදු චෝදනාවක් සංශෝධනය කරන්නෙත් නෑ. 159ක් ඉන්වානේ. ඇයි බය වෙන්නෙ.” කියාය.
ව්‍යවස්ථාදායකයට තට්ටු කරන විධායකය...

මේ අතර සජිත් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාවේ අවදානය යළිත් වරක් යොමු කරමින් විශ්වාසභංගය ගැන කතා කළේය.
"විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විදියට ත්‍රී පාර්ශ්වවීය රාජ්‍ය පාලනයක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා අතර පොදු එකඟතා තිබෙනවා. චෙක් ඇන්ඩ් බැලන්ස්. ඉතිං අපිට තියෙන අයිතියක් තමයි විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. ඒ වගේම එහෙම යෝජනාවකට ඇතුළත් කරන්නේ මොනවාද කියන එක තීරණය කරන්නෙත් අපි. රජයක් කියන දේ විපක්ෂයක් විසින් ලියන්න ඕන කියල කොහෙවත් නෑ. ඒ නිසා අපි ලියන දේ වැරදියි කියන්න ආණ්ඩුවට අයිතියක් නැති බව කියන්න ඕන. මේක සංශෝධනය කරන්න කියල ආණ්ඩුව අපිට කියන්නේ කොහොමද ? සත්‍ය ලෙසම මෙය විධායකය විසින් ව්‍යවස්ථාදායකයට කරන අනිසි අතපෙවීමක් බව පැහැදිලියි.”
කසු කුසු මැද සජිත් ගැන කතාවක්...

සජිත් ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු බොහෝ තැන්වල ලියවී ඇති කරුණු මතකයෙන් ප්‍රකාශ කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබුණි.
සජිත්ගේ පරිණතභාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගන්නට මේ ප්‍රකාශය හේතු වූ බව එදින පාර්ලිමේන්තුවේ තැන තැන කසු කුසු අස්සේ කියැවෙනු අසන්නට ලැබුණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇති වූ සංවාදයකදී වෙනත් පක්ෂයක නියෝජිතයෙකු සමගියේ මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ, “ලබන සැරේ මේකෙ බලේ ඉතිං උඹලා අතේ. අද උඹලගේ ලොක්කා කියාදුන් පාඩම මුලු පාර්ලිමේන්තුවටම වැදගත්. ආණ්ඩුවේ මොළවලට මේව තේරෙයිද කියන එක තමයි සැකේ.” ඔහු තවදුරටත් කීවේය.
විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින් සජිත් හමුවුණේ ඇයි ?...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් හමුවීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ප්‍රශ්න රැසක්ද අතැතිවය. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ මෙහි දී අවදානය යොමුවිය. ආදායම්වල කඩාවැටීම්, ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු හමුවේ ජනජීවිතවල සිදුව ඇති කඩාවැටීම් ගැන මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය. මූලික යටිතල පහසුකම්, සෞඛ්‍ය හා අධ්‍යාපන, දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඇතුලු කරුණු ගණාවක් සම්බන්ධයෙන් විමසමින් සජිත් තොරතුරු එක්රැස් කරගත් අතර ඒවා පිළිබඳ අඛණ්ඩව ආණ්ඩුව ප්‍රශ්ණ කරන්නට සජිත් එම මන්ත්‍රී කණ්ඩායමට සහතික විය.
ඒ අතරම තම ලේකම්වරයා සම්බන්ධ කරගත් සජිත් උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ ජීවත තත්ත්වය පසුගිය වසර කිහිපය හා සංසන්ධනාත්මක වාර්තාවක් සකස් කරදෙන ලෙසට ද උපදෙස් දුන්නේය.
කාවන්තිස්ස ප්‍රතිමාවක්...

“තවත් ඇතෙකු ඝාතනය කරලා. වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති පරිදි, එය ඉතා භයානක සහ සංවේගජනක දර්ශනයක්. මේ සඳහා කඩිනම් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. මේ විනාශය වැළැක්වීම සඳහා මෙම අපරාධකරුවන් (පරිසර ත්‍රස්තවාදීන්) සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට උපරිම සහ දැඩිව දඬුවම් ලබාදීමට සැවොම එක්වෙමු” යනුවෙන් සජිත් සිය මුහුණු පොතේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවිය.
කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කැලෑබඳ කොටසක තිබී හමුවූ මෙම ඇතාගේ මරණය පිළිබඳ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සිය විමර්ශන කඩිනම් කර තිබුණේ, සජිත්ගේ මෙම අනාවරණයත් සමඟය.
මේ අතර ‘කාවන්තිස්ස මතකාවර්ජනා’ නමින් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගිය 03 වැනිදා ආරම්භ වූයේ ලයනල් වෙන්ට් කලාගාරයේදීය. පාරිසරික හා වනජීවී ඡායාරූප ශිල්පීන් විසින් සංවිධාන කර තිබූ මෙම ප්‍රදර්ශනය නැරඹීමට සජිත් පැමිණියේ එදින සවසය. එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සජිත් හමුවී සුහද පිළිසඳරක නිරතවන අයුරු ඒ මොහොතේ සිට බොහෝ දෙනෙකුගේ ඇස ගැටී තිබුණි.

කාවන්තිස්ස හස්ථියාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනකට සජිත් මුලපිරුවේ ඊට සමගාමීව අලි ඇතුන් පිළිබඳ පර්යේෂණ/පුස්තකාල පරිශ්‍රයක් ඉදිකිරීමටද කටයුතු යොදමින්ය.
කාවන්තිස්ස හස්ථියා සිය පාරාදීසය කරගෙන සැරි සැරූ, කහල්ල-පල්ලෙකැලේට සමීප අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සතුව තිබූ ඉඩමක මෙම අලි ඇතුන් පිළිබඳ පර්යේෂණ පරිශ්‍රය ඉදිකෙරෙනු ඇත.
මෙම මධ්‍යස්ථානය අලි-මිනිස් ගැටුම පාලනය කිරීමේ ක්‍රියාවලියට අදාළ පර්යේෂණ සහ වැඩසටහන් මෙන්ම අලි සංරක්ෂණයට අවශ්‍ය ධනාත්මක පියවරයන් සඳහා අවශ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස අනාගතයේදී රටට දායාදවනු ඇත.
සජිත් පවසන්නේ, කාවන්තිස්සට ආදරේ කරන හැමෝටමත්, අලි ඇතුන්ට පෙම් බඳින පරිසර ලෝලීන්ටත් මේ මධ්‍යස්ථානය හරහා සක්‍රීයව දායකවීමට හැකි බවය.
"The Kiss of Goodbye"

සජිත් සෙනසුරාදා කළුතර අගලවත්ත ආසනයේ සමගි තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටියේය.
එහිදී සජිත්ට අපූරු සිහිවටනයක් පරිත්‍යාග කළේ, බුලත්සිංහල ආසන සංවිධායක යොහාන් වඩුගේය.
ඒ පසුගියදා අකාලයේ මියගිය කාවන්සිස්ස හස්තියාට සජිත් හාදුවක් දෙන ජායාරූපය සහ ඊට යෙදූ වදන් පෙලක් සහිත එය රාමු කර තිබුණි.
ඔහු එය නම් කර තිබුණේ, අවසන් හාදුව... ආදරය ගැන ලෝකයටම කියාදුන් කතාවක්! 🐘❤️
"The Kiss of Goodbye" යනුවෙනි.
යොහාන් වඩුගේ දුන් ඒ පන්තූරයට ආචාර්ය මහේෂ් හපුගොඩ මුහුණු පොතේ තවත් අපූරු සටහනක් යොදා තිබුණි.
හපුගොඩ එය නම්කර තිබුණේ, “සජිත් : අපි විසින්ම හොයාගන්න කල් ඔහු එහෙමම හිටිය” කියාය.

ඔහු තබා තිබූ සටහන මෙසේය…,
මෙතැන් පටන් ඉදිරියට යන කාලසීමාව ඇතුලේ ලංකාවේ වැදගත්ම දේශපාලඥයා වීමේ වැඩිම ඉඩක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට. ඒ ඔහු හුදෙක්ම ලංකාවේ විපක්ෂ නායකයා වීම සහ සජබේ නායකයා වීම නිසාම නෙවෙයි. දේශපාලන නායකයෙක් හැටියට ඔහු වෙනමම ආකාරයකින් පුනරාගමනයක් කරමින් සිටින නිසා. නැත්නම් ප්‍රතිජීවනයක් ලබමින් සිටින නිසා.
විසි වෙනි සියවසේ පැවති මානවවාදී දේශපාලනයේ පැතිකඩක් (ජනතාවාදී දේශපාලනය, මිනිස්සු වෙනුවෙන් දේශපාලන කිරීම) හැටියට ඔහු මෙතෙක් ළඟාකරගෙන තිබ්බ චිත්‍රයට අමතරව විසි එක් වන සියවසට අවශ්‍ය ගැඹුරු දේශපාලන පැතිකඩ වෙතද ඔහු මේ වනවිට ළඟාවෙමින් සිටිනවා. ඒ ඔහු තුළ තිබ්බ එහෙත් ඔහු මාකට් නොකරපු 'පරිසර දේශපාලනය' ඇතුලේ. මේක අන් කිසිම කෙනෙක්ට ළඟාවෙන්න බැරි තරම් ඔහු තුල කුඩා කල සිටන්ම වගා දිගා වෙච්ච දෙයක් නිසා ඔහුට තරඟයක් දෙන්න දැනට කවුරුත් ප්‍රධාන දේශපාලනය ඇතුලේ නැහැ. ඔහු ඒ සවිඥානිකත්වය අලුත් පරම්පරාව වෙනුවෙන් අරන් එන්නත් පසුබට වෙන්නේ නැහැ. ඒක ඔහුගේ ඉදිරි දේශපාලනයට ලොකු හයියක් වෙන්න නියමිතයි.
අනිත් දේ තමයි ඔහු විද්‍යාත්මක පර්යේෂණ සහ සොයාගැනීම් ඇතුලේ කෙරෙන ඉතාම වැදගත් තොරතුරු වෙත යන්න දක්වන ආශාව සහ කැපවීම. අලුත් දෙයක් ඇස ගැටුන වහාම ඔහු ඒ දේ ඔහුගේ දේශපාලන හැකියාව ඇතුලේ ජාතික වැදගත්කමක් ඇති දෙයක් ලෙස බාරගන්නවා. මම අතිශයින් මෑත උදාහරණයක් දෙන්නම්.
පාර්ලිමේන්තු දේශගුණික විපර්යාස පිළිබඳ සංසදයේ තවත් සැසිවාරයක් පෙරේදා (6.11.2026) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වුණා. එහිදී එක්තරා මාතෘකාවක් ගැන පැවති පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක් ගැන සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමු උනා.
ඒ ඉදිරිපත් කිරීම කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න. ජෛව පටල - ජෛව පොහොර (biofilm feritilizer) ආශ්‍රිත පර්යේෂණයක් ඒක. ඒ ඔස්සේ මහාචාර්යවරයා කිව්ව දෙයක් තමයි මේ ජෛව පටල පොහොර කියන්නේ වැඩි අස්වැන්නක් දෙන්න පුළුවන්, අඩු වියදම් සහ අවම පරිසර හානියක් තියෙන ක්‍රමයක් කියන එක. ඒ ප්‍රසන්ටේශන් එක අවසානයේ සජිත් අවම වශයෙන් නම් පැය භාගයක් විතර ඒ පර්යේෂකයා එක්ක කතාකළා. එහෙම කතාකරන්න එයට කාලය තිබ්බ. ජාතික වශයෙන් මේ පර්යේෂණයේ වැදගත්කම කතාකළා සහ ඒක මෙතනින් එහාට අරන් ගිහින් ලොකු වැඩපිළිවෙලක් ලෙස ඉස්මතු කරන එක ගැන කතාකලා.
කාබනික පොහොර නිසා ආණ්ඩුවක් පවා පෙරළුනු රටක සජිත් බය නැතුව අලුත් විද්‍යාත්මක සොයාගැනීම් එක්ක යන්න සුදානම පෙන්නුවා.
පර්යේෂකයා පැත්තෙන් අවධානයක් දුන්නම ඒ මිනිස්සුත් වැඩියෙන් වැඩකරනවා. රටටත් සෙතක් වෙනවා. ඒක සජිත් දේශපාලනඥයෙක් සහ අතරමැදියෙක් හැටියට නොමසුරුව කළා. මම කියන්නේ ඔහු හොඳින් සවන්දෙන්නෙක් කියල.
සජිත් නම් දේශපාලනඥයා තුළ තියෙන මේ අතිශයින් වැදගත් ලක්ෂණ කිසිවිටක ලංකාවේ සමාජය වෙත සම්ප්‍රේෂණය උණේ නැහැ. ලොකු මාධ්‍යකරුවන් ඒවා දැක්කෙත් නැහැ. දැක්ක අය කිව්වෙත් නැහැ.
ඇයි මම කියන්නේ සජිත් ඉදිරියට වැදගත් වෙමින් ඉන්න දේශපාලනඥයෙක් කියල? සජිත් කියන්නේ වෙනස්ම කෙනෙක්. ලංකාවේ මිනිස්සු හෙව්වෙත් වෙනස් කෙනෙක්. හැබැයි මේ දෙක මුණගැහුණේ නැහැ. සජිත් කියන්නේ අනික් උං වගේම සම්ප්‍රදායික දේශපාලඥයෙක් හැටියට හණගහල පැත්තකින් තිබ්බ. සිද්ද උනේ ඒක.
සජිතුත් නෑ නෑ මම වෙනස් මම වෙනස් කිය කිය කෑගැහුවෙත් නැහැ. අන්තිමට අපි විසින්ම හොයාගන්න කල් ඔහු සියල්ල එසේ තියෙන්න හැරිය.
2020 වෙද්දී ලංකාවේ මිනිස්සු විශාල ප්‍රමාණයක්, විශේෂයෙන් අලුත් පරම්පරාව, අලුත් සහ වෙනස් මනුස්සයෙක් හෙව්ව. ගෝඨාභයට එයාල චන්දෙ දුන්නේ මේ විදියට පවතින සීමාවලින් ඉස්සරහට ගිහිල්ල හොඳ ලංකාවක් බිහිකර ගන්න. ඒක හරිගියේ නැති නිසා ඔවුන් අරගලයක් වෙත ගියා. අරගලයෙන් පස්සෙ ඒ මිනිස්සු අනුර එක්ක අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීම ගැන මිනිස්සු දැන් දෙවරක් හිතන්න අරගෙන. එතනින් ඉවත් වෙන මිනිස්සුන්ට යන්න දැනට තැනක් නැහැ.
ආයේ එයාල බොරු බ්‍රෑන්ඩින්, බොරු සන්නාමකරණ වලට රැවටෙන එකක් නැහැ. එයාල ඇත්තටම තමන්ගේ ආත්මයෙන් ඇත්ත දේශපාලනය කරන කෙනෙක් වෙත යන්න ඉඩ තියෙනවා කියල මට හිතෙනවා. ඒක අපහු පරණ දේශපාලනය වෙත ගමන්කිරීමකුත් නෙවෙයි.
සත්‍යය වෙත ගමන්කිරීමක්.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
