ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් හැටන් නගරය ඇතුළු සමස්ත වතුකරය පුරා උත්සවශ්‍රීය ඉහළ ගොස් තිබූ අතර, මධ්‍යම කඳුකරයේ ප්‍රධාන දීපාවලී දේව පූජාව අද (08) උදෑසන හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් කෝවිලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
කෝවිලේ ප්‍රධාන පූජක ෂන් මධුරන් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ආගමික පූජෝත්සවය සඳහා හැටන් නගරය ඇතුළු අවට ප්‍රදේශවලින් විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.
එහිදී ප්‍රධාන ගණදෙවි පූජාව පැවැත්වීමෙන් අනතුරුව සරස්වතී වසන්ත මණ්ඩප පූජාව ද පැවැත්වූ අතර, රටටත් ජනතාවටත් සෞභාග්‍යය, සාමය හා අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් බැතිමත්හු ආගමික වතාවත්වල නිරත වූහ.
මේ අතර, දීපාවලී උත්සවය ආරම්භය සනිටුහන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිටම හැටන් නගරය පුරා උත්සවශ්‍රීය පැතිර ගොස් තිබිණි. හින්දු භක්තිකයන් විශාල පිරිසක් නගරයට එක්ව රතිඤ්ඤා හා මල්වෙඩි දල්වමින් එකිනෙකාට සුබපැතුම් එක් කරමින් උත්සවය සැමරූහ.
අන්ධකාරය පරදා ආලෝකය උදාවීම සංකේතවත් කරන දීපාවලී උත්සවය වෙනුවෙන් හැටන් නගරයේ නිවාස, ව්‍යාපාරික ස්ථාන මෙන්ම කෝවිල් පරිශ්‍ර ද පහන් සහ විදුලි ආලෝකයෙන් අලංකාර කර තිබූ අතර, වතුකරයේ ජනතාව ද සාම්ප්‍රදායික වස්ත්‍රාභරණයෙන් සැරසී උත්සවයට එක්ව සිටියහ.
දීපාවලී දිනය වෙනුවෙන් අලුයම අවදි වූ බැතිමතුන් සාම්ප්‍රදායික තෙල් ස්නානය කර නව ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිය පවුල්වල සාමාජිකයන් සමඟ ප්‍රදේශයේ හින්දු කෝවිල් වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.
හැටන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම සැමරුම්වලට සමගාමීව වතුකරයේ විවිධ ප්‍රදේශවල ද ආගමික හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර තිබූ අතර, ඉදිරි දින කිහිපය පුරා දීපාවලී උත්සවය ආශ්‍රිත සැමරුම් අඛණ්ඩව පැවැත්වීමට නියමිතය.
ආර්.එෆ්.එම්.සුහෙල් -(නුවරඑළිය)






newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
