කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1255.7 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජවාරම් කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු යැයි කියන මොහොමඩ් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 25 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (11) නියෝග කළාය.
මෙම නඩුව (පිලිපීන ජාතික ජොහාන් බේ), අයි. ඩී. සුමිත් සහ තෙවැනි විත්තිකරු වන සිරාන් බාසික් නැමැත්තාට එරෙහිව පවරා තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥවරයා සඳහන් කළේ, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද දින පැවැත්වීමට නියමිතව තිබුණත් මෙම නඩුවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති CCTV දර්ශන ඇතුළත් CD පටය පිටපත් කර ගැනීමට නොහැකි වූ බවයි.
එකී දර්ශන සහිත පටය වහාම තම අධිකරණයට ලබා දෙන ලෙසත්, නඩුව සම්බන්ධයෙන් ඇති රස පරීක්ෂක වාර්තා ද තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
කොළඹ මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පළමුවැනි විත්තිකරු ද බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ වන විට ඇප මත මුදා හැර සිටින දෙවැනි විත්තිකරු ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2023.08.16 වැනිදා කොකේන් මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මෙම නඩුව පවරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
