රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අභියෝගය ජය ගැනීමෙන් පසු, වේගවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරමින් සහ එහි ප්‍රතිලාභ කිසිවෙකුත් අත් නොහැර සමාජයේ සෑම ස්ථරයකටම බෙදා හැරීම අරමුණු කරගත් 2027 වර්ෂය සඳහා වන අය-වැය හෙට (12) ඉදිරිපත් කිරීමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර ප්‍රකාශ කරයි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2027 අය-වැය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
"මෙවර අය-වැය හුදෙක් වාර්ෂික රාජ්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණයකට සීමා නොවේ. රටේ ඉදිරි ආර්ථික සංවර්ධන දිශානතිය තීරණය කරන ප්‍රතිපත්තිමය සැලැස්මක් ලෙස හැඳින්විය හැකි" යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, එහි ප්‍රතිලාභ ජනතාවටම ලබා දීම, නව රැකියා අවස්ථා බිහි කිරීම සහ ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙවර අය-වැයෙන් අවධානය යොමු වන බව නිශාන්ත ජයවීර පැවසීය.
වර්තමාන රජය විසින් 2025 සහ 2026 වර්ෂ සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය හරහා ඉලක්ක කළ ආර්ථික ජයග්‍රහණ අපේක්ෂා කළ සීමාවන්ට අභිබවා යමින් ලබා ගැනීමට හැකිවූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ස්ථාවරත්වයේ සිට වර්ධනය කරා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 2027 අය-වැය ඉතිහාසයට එක්වනු ඇති බව ඔහුගේ අදහසයි.
- ජේ.මුණසිංහ -
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
