Language Switcher

V2025

ගෝඨාභයගේ වියත්මගේ ඉන්න වියතුන් කවුද? - දීප්ති

වියත්මග යනුවෙන් සංවිධානය වී ආර්ථිකය ඇතුළුව රට පිළිවෙලකට (low and order ) සකස්කළ යුතු බවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළත් ඔහුගේ සංවිධානයේ සිටින වියයුතු කවුද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් ඇති බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.

දිවයින පත්තරේ හෝ ලංකාදීප පත්තරේ සිරී රණසිංහ හෝ මෙවැනි ප්‍රශ්නයක් කිසිදිනක නොඅසන බැවින් එය අසන්නට සිදුව ඇති බවත් ලංකාවේ ආර්ථිකය සම්බන්ධව සිටින වියයුතුන් කිසිවෙක් ගෝඨාභයගේ වියත්මඟ සංවිධානයේ නොමැති බවද ඔහු පවසයි.

voicetube.lk සමඟ සතියේ දේශපාලන විග්‍රහයට එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇති අතර, එහි සටහන සහ වීඩියෝව පහත දැක්වේ.

මෑතකදී ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ අලුත් සංවිධානය වන වියත් මඟෙන් ඔහු ප්‍රකාශ කළා රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටී ඇති බවත් නැවත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇති කළ යුතු බවත්, ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මඟ දේශනය අපට යූ ටියුබ් එකේ වුනත් බලන්න පුලුවන්. ඔහු එතනදී ඉතා පැහැදිළිව කියනවා රටේ ආර්ථිකය ඇතුලුව රට යම් කිසි ආකාරයකට (Low and Oder ) පිළිවෙලකට ගන්න ඕනේ කියලා. සමහරුන්ට මේක ෂ්‍රැංගීලා එකේ  තිබුනා කියලා මාර අමාරුවක් තියෙනවා. මම හිතන්නේ ඒක පෙටි බුර්ෂුවා එකේ හීනමාන. සුළු ධනේෂ්වර කට්ටිය ඔය ගෝල්ෆේස් එක ඉස්සරහින් යනකොට ෂ්‍රැංගීලා එක දැක්කම ඇඟ කිතිකැවෙනවා. ඒව ජේවීපී ප්‍රශ්න.  ඒ වගේ මෝඩ කතා කියන්න නරකයි. ෂ්‍රැංගීලා එකේ නෙවෙයි ඊට වඩා හොඳ තැනක තිබුණත් කමක් නැහැ කියන එකයි මගේ අදහස. හැබැයි අපි එන්න ඕනේ ඒකේ අන්තර්ගතයට.  

ගෝඨාභය  රාජපක්ෂ මහත්තයාගේ වියත්මගේ ඉන්න වියතුන් කවුද? දිවයින පත්තරේ ලංකාදීප පත්තරේ සිරී රණසිංහ එහෙම ප්‍රශ්ණ කරන්නේ නැහැ මේ වියතුන් කවුද කියන එක. අපි බලමු මේ වියතුන් කවුද කියලා.

ඔබ කියන්නේ එතන සබෑ වියතුන් නැහැ කියලද?

ඉස්සෙල්ලා අපි මේ සැබෑ වියතුන් හඳුනගමුකො. වියත්තු කවුද කියන එකනේ කවුරුවත් දන්නේ නැත්තේ.

එතකොට එක්කෙනෙක් තමයි නාලක ගොඩහේවා. මෙයා චම්පික රණවක එක්ක ඉංජිනේරුවෙක් හැටියට හිටපු කෙනෙක්.  එයා එකපාරටම විනිමය සුරැකුම් කොමිසමේ සභාපති වුනා. පාලම් හදන ඉන්ජිනේරු අංශයෙන් එකපාරටම විනිමය පැත්තට ගියේ කොහොමද කියලා දෙයියො තමයි දන්නේ.

එතකොට ඒ විෂය ක්ෂේත්‍රය මාරු වීම සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් කරල තමයි හොයාගන්න වෙන්නේ කොහොමද එහෙම මාරු වුනේ කියලා. එතකොට එයා වියතෙක් ද කියන ප්‍රශ්ණය එනවා. මොකද ඔහු ඉදිරිපත් කරපු පර්යේෂණ ග්‍රන්ථ පර්යේෂණ ලිපි පිට රටවල්වලට ඉදිරිපත් කරපු පර්යේෂණ ලිපි අර නිර්මාල් රංජිත්ගෙ වගේ අපිට පේන්න නැහැ. ඒකයි මම කියන්නේ ඒ දෙගොල්ලො එකවගේ.

ඊලඟට අපි ගත්තොත් මැදගොඩ අභය තිස්ස හාමුදුරු‍වො සහ කමල් තුණරත්න.  මම හිතන්නේ කමල් ගුණරත්න ගැන අපි වෙනමම කතා කරන්න ඕනෙ නැහැ. ඔහු නන්දිකඩාල් කියලා පොතක් ඉදිරිපත් කළා මිලිටරි සයන්ස් වලින්. අපි දන්නවා බටහිරි විශ්ව විද්‍යලවල මිලිටරි සයන්ස් (military science ) පැත්තෙදි අපේ ලංකාවේ යුද්ධය පූර්වාදර්ශයක් ලෙස ගන්න එපා කියලයි කියන්නේ. ඒ කියන්නේ මේක කේස් ස්ටඩි (case studies ) හැටියට විෂයට ගන්න එපා කියලයි කියන්නේ.

එතකොට අපේ රටේ අන්තිම යුද්ධය දිනපු විදිහ සම්බන්ධයෙන් ජෙනරල් ෆෝන්සේකාම කියලා තිබුනා හිත මිත්‍රයන් එක්ක, ඒ යුද පහරදීමට විද්‍යාවක් තිබුනේ නැහැ කියලා. ගහපු එක තමයි ක‍රේ මිලිටරි සයන්ස් එකත්  එක්ක ගියා නම් යුද්ධය පරදිනවා කියලා. එතකොට මිලිටිරි සයන්ස්  එකට අනුව ඒ යුද්ධය යුද්ධයක් නෙවෙයි වෙන මොකක්ද එකක්. මේක ජෙනරල් ෆොන්සේකා කිවුවේ. එතකොට ජෙනරල් ෆෝන්සේකට පස්සේ  හිටපු සෙනෙවියෙක් ඉදිරිපත් කරපු දෙයක් මේක.  ඒ කියන්නේ බ්‍රිගේඩියර් කෙනෙක්. එතකොට ඒවට සම්මාන එහෙම දේවල් ලැබිලත් නැහැ. අපි වියත්තු ගැන තකා කරන නිසයි මම මෙහෙම කියන්නේ.

එතකොට ඊලඟට අපි ගත්තොත් එහෙම මහින්ද පතිරණ කියලා කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ ජාතිකත්වයේ පාංශුඛාදනය සම්බන්ධ උපාධියක් අරන් තියෙනවා. එතකොට එයා බැසිල්ගෙ පැත්තෙද ඝෝඨාගෙ පැත්තෙද කියලා හිතාගන්න ටිකක් අමාරුයි.

ඊගාවට අපි ගත්තොත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙ ඉන්න වියතුන් ඉන්නවනේ. ඒ වියතුන් අතරේ අපට පිළිගත හැකි ප්‍රාමාන්‍ය උගතා තමයි චරිත හේරත්. චරිත හේරත් කියන්නේ අපි දන්නවා තුලනාත්මක ආගම් පිළිබඳ යමිකිසි අධ්‍යයනයක් කරල තියෙනවා. මිචෙල් ෆූකෝ සහ ඩෙරීඩා ගැන ලියෝතාද් ගැන බෝධිලා ගැන එහෙම ලියලා තියෙනවා. එතකොට මම තාමත් කල්පනා කරනවා මේ පශ්චාත් ව්‍යූහවාදය එතකොට (continental philosophy / මහද්වීපික දර්ශනය ) මේ වගේ දේවල් කොහොමද බැසිල් රාජපක්ෂගේ චින්තනයත් එක්ක ඒකාබද්ධ කරන්නේ කියලා. ඒක අපි බලන්න ඔනේ ඉදිරියේදී බුද්ධිමය පෙරලියක් වෙයිද කියලා ඒ දෙගොල්ලො එකතු වුනොත්.

දැන් අපි හිතමු ගෝඨාභය  රාජපක්ෂ මහත්තයාට ඇත්තටම ලංකාවේ ආර්ථිකය සහ අනෙක් දේවල් වෙනස් කරන්න ඕනේ නම්, ආර්ථිකය සම්බන්ධ ඇත්ත වියතුන් ලංකාවේ ඉන්නව. අපි ගත්තොත් ඩොක්ටර් අනිලා ඩයස් බණ්ඩාරනායක ඉන්නවා. ඊ ළඟට  නිමල් සඳරත්න ඉන්නවා, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් ඉන්නවා. හැබැයි ලක්ෂ්මන් මහත්තයා අපි දැක්කේ නැහැ මේ වියත් මගට ඇවිත් ඉන්නවා. ඊලඟට සිරිමල් අබේ රත්ත ඉන්නවා. ඊටපස්සේ ආචාර්ය උපාධි දෙකක් තියෙනවා කියන මේ ලලිතරුවන් ගුණරුවන් මහත්මයා. ඒ මහත්මයා තමයි ඉස්සෙල්ලා රේල්වේ එකේ හිටපු ජනරල් මැනේජර්. එතකොට එතුමාගේ ඒ ආචාර්ය උපාධියක් තියෙන්නේ ගණිතයට. එතුමා කොහොමද මේ ගණිතය දේශපාලන විද්‍යාවට ගේන්නේ කියන එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා.

එතකොට මේ වියත්තු වියත් මග කියන සංවිධානයට ඇතුලත්වෙලා ඉන්නවාද කියන ප්‍රශ්නය අපි අහන්න ඕනේ. දැන් සමහරු මේ ප්‍රශ්නය ඉදිරිපත් කියලා කියන්නේ ජනතාව අහනවා කියලා. ජනතාව නෙවෙයි මම අහනවා. ජනතාව කොහෙද ජනතාව ඔහේ අහගෙන ඉන්න එකයි කරන්නේ. අපි අහනවා ප්‍රශ්නයක් මේ ගෝඨාභය  රාජපක්ෂ මහත්තයාගේ වියත් මග සංවිධානයේ ඉන්න සැබෑ වියත්තු කවුද? ඒ අයගේ උපාධි මොනවද? ඒ අය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පර්යේශණ පත්‍රිකා මොනවද? එහෙමත් නැත්නම් වෙනත් රටවල්  සම්බන්ධයෙන් හෝ ගෝලීයකරණය සම්බන්ධයෙන් මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා.