Language Switcher

V2025

ටෙලිනාට්‍ය කර්මාන්තයට රජයෙන් අතහිත

හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  පැවසී ය.

අමාත්‍යවරයා මෙම කරුණූ අනාවරණය කළේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ය. 1993 වර්ෂයේ දී ආරම්භ කර ඇති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය එම ක්ෂේත්‍රයේ නිරත රංගන, නිර්මාණ සහ කාර්මික ශිල්පීන් දහස ඉක්ම වු පිරිසක් සාමාජිකත්වය දරන මෙරට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රබලම සංවිධානයකි.

දේශීය ටෙලිනාට්‍ය නිර්මාණවේදීන් සහ එම ක්ෂේත්‍රයේ නිරත වු නිෂ්පාදන පාර්ශවය වර්තමානය වන විට මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විධිමත් ව විමසා බැලීමත්, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමත්, එමෙන් ම දේශීය ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ ව රජයේ නව යෝජනා සහ සැලසුම් දියත් කිරීම පිළිබඳ ව අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කර දේශීය ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංවිධාන සමඟ පවත්වනු ලබන සාකච්ජා මාලාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජන මනස පුබුදුවාලන, අර්ථවත්, ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා මෙහි දී අමාත්‍යවරයා සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභිකයින් අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එහි දී ටෙලි නිර්මාණ නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවීම, සියළුම නිෂ්පාදන ආයතනය ප්‍රමිතිගත ක්‍රියාදාමයක් තුළට ගෙන ඒම සහ යම් අධිකාරියක් යටතේ මෙම සියළු කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම මෙහි දී මුලික වශයෙන් සාකච්ඡා විය.

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ටෙලි නාට්‍ය රූපගත කිරීමේ දී අවශ්‍ය වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට ලබා දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට ම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට සිදු කිරීම සහ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීම යන කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාළ ව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

එමෙන් ම කොළඹට නුදුරු තදාසන්න ප්‍රදේශයක අලුතින් ටෙලි සිනමා දර්ශන තල ගම්මානයක් ඉදිකිරීමට අදාළ ව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ගෙන ආ යෝජනාව පිළිගත් අමාත්‍යවරයා ඒ සඳහා ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන බව පැවසී ය. තව ද, ටෙලි නාට්‍ය කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ටෙලිනාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ වෘත්තිකත්වය බල ගැන්වීම උදෙසා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමවේදයකට නිර්මාණ සහ කාර්මික ශිල්පීන් ඇතුළත් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙහි දී ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ කඩිනම් සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යවරයා එම මොහොතේ දී ම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ලොව නවීන තාක්ෂණ ප්‍රවණතා හමුවේ මෙරටට සුදුසු සහ යෝග්‍යතම තාක්ෂණ ක්‍රියාදාමයක් තුළට මෙරට රූපවාහිනී විකාශන සහ අනෙකුත් නිර්මාණ ක්‍රියාදාමයන් ඇතුළත් කිරීමට රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේ ය.

එමෙන් ම, ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ සියළු සැලසුම් සකස් කිරීමේ දී, ප්‍රේක්ෂක රසඥතාවය වර්ධනය කරමින් ඉහළ රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම ප්‍රමුඛ කාර්යය වියයුතු බවත්, ඒ සඳහා සියළුම නිර්මාණවේදීන් තම උපරිම කැපවීම සහ දායකත්වය ලබාදීය යුතු බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන, ප්‍රධාන ලේකම් සුනිල් කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල, විධායක සභිකයින් වන රවීන්ද්‍ර ගුරුගේ ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වුහ