Language Switcher

V2025

අලිමංකඩ ලුණු නිෂ්පාදනාගාරය විවෘත කෙරේ

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් අද (29) විවෘත කෙරුණි.

නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

මෙහි නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ''රජ ලුණු'' යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයට එක් වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය.

අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු ටික නිෂ්පාදනය කරල අතිරික්ත ලුණු අපනයන ආදායමට එක්කර ගන්න. ඒ කියන්නේ රටට අවශ්‍ය ඩොලර් ගේන්න. මම හිතනව තව අවුරුදු 02ක් හෝ 03ක් ඇතුළත අපිට ඒ ඉලක්කයට ළඟා වෙන්න පුලුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිපදවෙන ලුණු ප්‍රමාණය මදි මේ යන්ත්‍ර සූත්‍රවලින් උපරිම නිෂ්පාදනය අපට ලබා ගන්න. ඒ නිසා මෙතනට එහා පැත්තෙ තියෙනවා කුරින්චතිව් (Kurinchathivu) ලේවාය. ඒ කොටස යුද්ධ කාලෙදී ලුණු නිෂ්පාදනය අතහැරල දාලා තිබුණු කොටසක්, ඒ ලේවායෙත් වැඩ ඉක්මනට පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක සංවර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතියත් අපි ඉල්ලලා තියෙන්නේ. රජය හැටියට අපි රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කරමින් උපරිම ලාභ ලබන්න නෙවෙයි. ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. අපේ මේ ලුණු සමාගමෙන් වගේම අනෙකුත් හැම ව්‍යාපාරයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ රජයට සාධාරණ බදු ගෙවීම, ජනතාවට රැකියා සැපයීම, ජනතාවට අඩුම මිලට භාණ්ඩ සැපයීම, ඒවගේම පෞද්ගලික අංශයෙන් ජනතාවට අසාධරණයක් වෙනවා නම් ඒ අසාධාරණ මිලට එරෙහිව සාධාරණ මිල ස්ථාපිත කිරීම වැනි දේවල් සඳහා. ඒ වගේම අපි ඉදිරියේ දී උතුරු පළාත සංවර්ධනය කර රටේ සංවර්ධනයට දායක කරගන්න අවශ්‍ය ව්‍යාපෘති කිහිපයකුත් ආරම්භ කරන්න සැලැසුම් සකස් කරල තියෙන්නේ. ඒ අතර පරන්තන් රසායනික කලාපය, මාන්කුලම් සහ කන්කසන්තුරය අපනයන කලාප ආරම්භ කිරීම, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති විශේෂයි”