Language Switcher

V2025

කොළඹ සහ පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්දයේ ප්‍රමාදයක්.....

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ , එම පළාත් පාලන ආයතනවල එළඹන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙනි.

 මේ වන විට ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමට කටයුතු සිදු කරමින් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක  සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට දින නියම කර තිබේ.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය 07 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

කෙසේ වෙතත් පසුගිය 11 වැනිදා එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට, අභියාචනාධිකරණය නියෝග කළේ ය.

ඒ , එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමිනි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය එම නියෝගය කළේ ය.