දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දැනුවත් කිරීමක්

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දැනුවත් කිරීමක්

වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව එළඹෙන 18 වැනිදා සිට දෙස් විදෙස් ජනතාවට හිමිවෙයි.

දළදා වන්දනාව හෙට (18) දිනයේ දී පස්වරු 3.00 ට ආරම්භකර පස්වරු 5.30 ට අවසන් කරන බවත් අනතුරුව 19 වැනිදා සිට 27 දින දක්වා සෑම දිනකම දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව හිමිවන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල  පවසයි.

මහනුවර වැව රවුමේ රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත ඔස්සේ එක් පෝලිමක් ද අවන්හල දෙසින් උල්පැන් ගේ ඉදිරිපිටින් තවත් පෝලිමක් ද ලෙස වැව රවුම ඔස්සේ පෝලිම් දෙකකින් බැතිමතුන් මහ මළුව වෙත රැගෙන ඒමට නියමිතය. ඊට අමතරව ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ඇති පෝලිමේ පැමිණෙන බැතිමතුන් පත්තිනි දේවාලය ඉදිරිපිට වතුර මල අසලින් මහ මළුවට ඇතුළු කිරීමට නියමිතය.

අවසන් වරට 2009 දී පැවැති දළදා වන්දනාව සඳහා ලක්ෂ 15 ක පමණ ජනතාවක් මහනුවරට පැමිණ තිබෙන බැවින් මෙවර රටේ පවතින සාමකාමී වාතාවරණය අනුව මිලියන 02 කට අධික පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි පොලීසිය අනුමාන කරයි.

දළදා වන්දනා සමයේ ආරක්ෂව සඳහා පොලිස් නිලධාරීන් 10000 ක් සමඟ ත්‍රිවිධ හමුදාව යෙදවීමට සැළසුම් කර තිබේ. මෙවර දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ අවසර පත්‍ර නිකුත් නොකරන බවත් සියලු දෙනා පෝලිම් තුන ඔස්සේ පැමිණ දළදා වහන්සේ දැක වැඳ පුදා ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

දළදා වන්දනා සමයේ දී මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය. ඒ අනුව පේරාදෙණිය, කටුගස්තොට, තැන්නේකුඹුර ආදි ප්‍රදේශ වල සිට නගරයට වාහන ඇතුළු කිරීම සීමා කෙරෙයි. එම ස්ථානවල රථගාල් කිරීමේ පහසුකම් ස්ථාපිත කර තිබෙන බවත් එතැන් සිට විශේෂ බස් සේවා මගින් බැතිමතුන් නගරයට රැගෙන එන බවත් පොලිස් අධිකාරි ඩී.සී.ඩී ඉලංගකෝන්  කීය.

දෛනිකව ලක්ෂ 02 ක පමණ පිරිසක් දළදා වන්දනාව සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් හැකි තරම් අවම භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන එන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසුවේය.

දළදා වහන්සේ ඡායාරූප හෝ වීඩියෝගත කිරීමට කිසිදු ආකාරයකින් අවසර නොලැබෙන බැවින් දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වන අවස්ථාවේදීම ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට පියවර ගන්නා බවත් පෝලිම් ඔස්සේ පැමිණෙන ජනතාව අවස්ථා දෙකක දී පරීක්ෂාවට ලක් කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඉලංගකෝන්  ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න