මිනිස් ජීවිත බේරාගන්නා : විශේෂඥ ආපදා සැලසුම හමස් පෙට්ටියට දාලා

මිනිස් ජීවිත බේරාගන්නා : විශේෂඥ ආපදා සැලසුම හමස් පෙට්ටියට දාලා

ශ්‍රී ලංකාව සෑම වර්ෂයකදීම මුහුණදෙන ජල ගැලීම්,නායයෑම් ආදී ආපදාවලදී ජනතාවගේ ජීවිත උපරිම ලෙස ආරක්ෂා කිරීමට සහ ජනතාවට ස්ථිර විසඳුම් ලබාදීමට පේරාදෙණිය සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක්  පසුගිය වසරේ ඉදිරිපත් කළ  ව්‍යාපෘති වාර්තාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නොසලකා හැර ඇතැයි වාර්තා වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්, 2017 වසරේ මැයි සහ අගෝස්තු අතර කාලයේදී "යෝජිත ආපදා කළමනාකරණ ව්‍යාපෘති වාර්තාව" එකල,ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ජී.එල්.එස්.සේනාධීර වෙත භාරදී තිබේ. ඇය මෙම වාර්තාව සකසා ඇත්තේ පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ගේ සහයෝගයද ලබා ගනිමිනි.

ස්වාභාවික ආපදාවකදී වඩාත් වැදගත් වන්නේ දේපළ බේරා ගැනීම නොව මිනිස් ජීවිත බේරා ගැනීම වන අතර අදාළ වාර්තාවේ අරමුණු වලද ඒ බව සඳහන් වේ. එහි දිගුකාලීන අරමුණු ලෙස දැක්වෙන්නේ ගංවතුර සහ නායයෑම් තර්ජන දැඩිව පවතින ප්‍රදේශ වල ජනතාව සඳහා ස්ථිර විසඳුම් ලබාදීමය.

මෙහි පියවර 10ක් අඩංගු අතර 2018 ට පෙර අධි අවදානම් කලාප සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අවසන් කළ බව එහි නිර්දේශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී ජේෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය,සමාජ සුබ සාධන අමාත්‍යංශය ලෙස ක්‍රියාත්මක වනවා මිස ආපදා කළමනාකරණයක් සිදුකරන බවක් තමන්ට නොපෙනෙන බවයි.තම වාර්තාව ගැන එකල අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කළද ඉන්පසු ඒ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය කිසිඳු ආකාරයේ නිසි සැලකිල්ලක් නොදැක්වූ බවද ඇය කියා සිටියාය.

සාමාන්‍යයෙන් මැයි - ජුනි මාසවල හා නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට මෙවැනි ජල ගැලීම්, නායයෑම්,ආදියට මුහුණදීමට සිදුවන අතර 2015,2017 වසර දෙක තුළ මේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 315ක් වන අතර අතුරුදහන් සංඛ්‍යාව 173කි. 2016 ට සාපේක්ෂව 2017 ගංවතුර සහ නායයෑම් වලින් සිදුවූ මරණ වල ඉහළ යෑම 100%ක් බවද ව්‍යාපෘති වාර්තා වේ දැක්වේ. දැන් සිදුව ඇති ආපදා තත්ත්වය පිළිබඳ 2018 මැයි 24 දින ආපදා කළමනාකාරණ අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවට අනුව එදින වන විට මියගිය සංඛ්‍යාව 12ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 8 දෙනෙකි.

තම වාර්තාව නොසලකා හැරියද වාර්තමානයේදී හෝ ස්වාධීන විශේෂඥ කමිටුවක් පත්කරන්නේ නම් ස්වාභාවික ආපදා වලදී මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා තමන් ඉදිරිපත්වීමට සුදානම් බව ජේෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න