රැකියා සදහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන්වී නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.
ඒ අනුව දැනටමත් නඩු ගොනු හැටක් අධිකරණයේ විවෘත කර තිබෙන අතර තවත් නඩු ගොනු තිහක් සදහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගෙන තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එසේම අධිකරණමය ක්‍රියාදාමයේ පළමු පියවරක් ලෙස තවදුරටත් නීති විරෝධී ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රමිකයින් නම දෙනෙක්ට විරුද්ධව එන්තරවාසි යවා ඇති බවත් අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධී ලෙස එරට රැදී සිටි ශ්‍රමිකයින් පස් දෙනෙක් ලංකාවට පැමිණ ඇති බවද එහි දැක්වේ.
තවද අධිකරණමය පියවර ගෙන ඇති නඩු ගොනුවලින් නඩු ගොනු විසි දෙකක් මේ වන විටත් කැදවා තිබෙන බවද මැයි මස අග සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් වන නඩු ගොනු කැදවා තිබෙන බවද එහි දැක්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පවසා ඇත.
“ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා තරුණයින් යොමු කළා. මාස හයක වැනි කාලයක් සදහා මෙම ශ්‍රමිකයින් යොමු කර වැඩි ආදායමක් රට තුළට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් ඇතැම් ශ්‍රමිකයින් නියමිත වීසා කාලය නිමවූ පසුව නීති විරෝධී ලෙස එරට රැදී සිටිනවා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීම් සිදුකර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස එරට රැදී සිටින ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. මාස හයක සේවා කාලය අවසන් කර නැවත ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට නැවත වතාවක් රැකියා සදහා ඊශ්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව තිබෙනවා. මේ ආකාරයට නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැදී සිටීමෙන් රටට ලැබෙන රැකියා කෝටාව අහිමිවී යාමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ රටට තිබෙන කීර්ති නාමයටද හානි වෙනවා.
ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන අය රැකියාවට පිටත්ව යාමට පෙර රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ ගිවිසුමකට යටත්විය යුතු වෙනවා. එහිදී නියමිත වීසා කාලය අවසන් වන විට පෙරලා මෙරටට පැමිණෙන බවට ගිවිසුම් ගතවෙනවා. ඒ වගේම තමයි ඒ සදහා වන ඇපකරයක්ද බැදීමට සිදුවෙනවා. වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා මෙරටට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අධිකරණමය පියවර ගෙන ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා.
වැඩි ආදායමක් රටට ගෙන්වාගැනීමට හැකි ආකාරයේ වෘත්තිමය භාවයකින් යුත් රැකියා අවස්ථා ලබාගැනිමට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත වැඩ කටයුතු රැසක් සිදුවෙනවා. එවැනි තත්වයක් තුළ වැඩි ආදායම් ලැබිය හැකි ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව ලංකාවට පැමිණීමෙන් ඊශ්‍රායලය සදහා තිබෙන රැකියා කෝටාව ආරක්ෂා කරගැනීමටත් එය ඉහළ දමාගැනීමටත් හැකියාව තිබෙනවා“

