අදියර දෙකකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දෙවැනි අදියර සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා අවසන් සංචිත නම්කර ඇති අතර පළමු අදියරේ නයකත්වය දැරූ කවිඳු පෙරේරා සහ රන්දිකා කුමුදුමලී විසින් මෙම අදියර සඳහා ද නායකත්වය දරනු ලැබේ.
නවසීලන්ත ජාතික පුහුණුකරු රොඩ්නි ගිබ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ශම්ලි නවාස් සහාය පුහුණුකරු ලෙසත් කටයුතු කරයි.
තරගාවලියේ පළමු අදියර ඉකුත් සැප්තැම්බර් මස චීනයේදී පැවැති අතර ඒ සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් මේ වන විට සිදුව ඇත. අත්දැකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර මෙවර කණ්ඩායම සමගින් එක්වී තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ශක්තියක් වන අතර ඊට අමතරව හේෂාන් ජැන්සන්, දිලුක්ෂ දංගේ, ක්‍රිස් දාබරේ සහ චමෝද් මුතුනායකට සංචිතයේ අවස්ථාව හිමිවී ඇත.
පළමු අදියරේදී අතිරේක ක්‍රීඩකයන් වූ යෙහාන් බුලත්සිංහල සහ කලණ චමුදිතට ද සංචිතයේ අවස්ථාව හිමිවී ඇත. පළමු අදියර සඳහා ක්‍රීඩා කළ ශාහිඩ් සුම්රි හට ආබාධයක් හේතුවෙන් තරගාවලිය මගහැරෙන අතර ජනිත් මාරසිංහ, ආරොන් කොරෙයා, ජයතු රාජරත්න සහ නාලන් දේශප්‍රිය හට ද සංචිතයේ අවස්ථාව අහිමිවී තිබේ.
තරගාවලිය සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 12ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් සහභාගි වන අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 'සී' කාණ්ඩයෙන් ද කාන්තා කණ්ඩායම 'එෆ්' කාණ්ඩයෙන් ද තරග කිරීමට නියමිතය. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 'සී' කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව සමගින් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. කාන්තා කණ්ඩායම සිය මූලික වටයේදී තායිලන්තය, හොංකොං සහ සිංගප්පූරුව සමගින් තරග කිරීමට නියමිතය.
තරගාවලියේ මූලික වටයේදී කාණ්ඩ 3හි පළමු ස්ථාන 3 දිනාගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අනතුරුව දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම ද අවසන් පූරුව වටයට තෝරා ගනු ඇත.
තරගාවලිය එළැබෙන 18 සහ 19 දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. හැන්ග්සොව් හිදී පැවැති පළමු අදිරයේදී නවක ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකින් සමන්විත වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා කණ්ඩායමට 9වැනි ස්ථානය හිමි විණි.
ශ්‍රී ලංකා පිරිමි සංචිතය
කවිඳු පෙරේරා (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ගයාන් පෙරේරා, ජනිඳු දිල්ෂාන්, දිනාල් ඒකනායක, හේෂාන් ජැන්සන්, දිලුක්ෂ දංගේ, ආකාෂ් මදුශංක, මොහොමඩ් රිෆාන්, සුරංග තෙන්නකෝන්, චතුර සොයිසා, යෙහාන් බුලත්සිංහල, කලණ චමුදිත, ක්‍රිස් දාබරේ, චමෝද් මුතුනායක
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
රන්දිකා කුමුදුමලී (නායිකා) සංජු විජේතිලක, ජයන්ති කුමාරි, සංදිකා හේමකුමාරි, ශානිකා මදුමාලි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චරනි ලියනගේ, සරනි නයනතාරා, කාංචනා මහේන්ද්‍රන්, ලියාරා ජයසිංහ, නිරායා ජයසිංහ, හෙකාශිනී ක්‍රිශ්නකුමාරි
| aruna