වැලිගම සභාපති ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක්

වැලිගම සභාපති ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක්

*වෙඩික්කරු කොටුවුණේ ඩුබායි උපදෙස් අනුව දුරකතනයක් ගන්න ගිහින්

*සැකකරුවන් FCID භාරයට

*ඝාතකයා හඳුනා ගත්තේ බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියෙක්


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළේ ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බවත් ඝාතනයට පෙරාතුවම අත්පිට මුදලින් එය ඝාතකයාට ගෙවා ඇති බවත් පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

ලසන්ත ඝාතනය කළ වෙඩික්කරු ඊයේ (26) සවස මහරගම නාවින්නේදී අත් අඩංගුවට ගැනීමත් සමග ඊට අදාල සියලු තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.

මිදිගම රුවන්ගේ හා චූටිගේ සමීපතම හිතවතකු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබා දී ඇති බවත්, ඔවුන්ගේ සහචරයකු විසින් අදාල ලක්ෂ 15ක මුදල ලසන්ත ඝාතනයට පෙරම වෙඩික්කරු අතට පත් කර ඇති බවත් මේ වනවිට හෙළිව තිබේ.

සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු කැකිරාවේ සිට ඊයේ (26) කොළඹට පැමිණ පිටකොටුව ආශ්‍රිතව පැය ගණනක් සැරිසරමින් අයිස් නමැති මත්ද්‍රව්‍යය සොයා ඇතැයි ද හෙළි ව ඇත.

පිටකොටුවෙන් 'අයිස්' සොයාගත නොහැකිවූ තැන ඔහු බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල ද සැරිසරා ඒවා සොයා ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අයිස් ලබාගත නොහැකිව බලාපොරොත්තු කඩවූ වෙඩික්කරු, යළි කොටුවට පැමිණ බස්රියක නැගී හයිලෙවල් පාරේ කොට්ටාව බලා ගොස් ඇති බවද වාර්තා වේ.


වෙඩික්කරුගේ සැළසුම වී තිබුණේ කොට්ටාවේ මාකුඹුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රියක නැගී මාතර බලා යාමට බවත් එය ව්‍යවර්ථ වී ඇත්තේ ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරු දකුණට නොයන ලෙස දුන් උපදෙසක් නිසා බැව්ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ඊයේ (26) දහවල් කොට්ටාවේ සිට බසයක නැගී මහරගම බලා පැමිණි ඔහු පැය කිහිපයක් තිස්සේ මහරගම සැරිසරමින් ගතකර ඇති බව පැවසේ.



අනතුරුව ඩුබායි සිට ලැබුණු උපදෙස් පරිදි ලසන්ත ඝාතනය කිරීමට පෙරාතුව පටන් භාවිතා කළ දුරකතනය වෙනුවට නව දුරකතනයක් මිලට ගැනීමට නාවින්නේ දුරකතන අලෙවිසලක් වෙත ගොස් තිබෙන බවද විමර්ශනවලදී හෙළිව ඇත.

වෙඩික්කරු දුරකතන අලෙවිසලින් එළියට එද්දීම රාජකාරි නිමවී බස්‍ රියකින් නිවෙස බලා යමින් සිටි බුද්ධි අංශ නිලධාරියකු ඔහුව හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මෙම නිලධාරියා සැණෙකින් බසයෙන් බැස සැකකරු ලුහුබඳිද්දී එය දුටු ඔහු දුවන්නට පටන් ගත් බව ද වාර්තා වේ.

මෙසේ දිවයන පුද්ගලයා දුරකතන අලෙවිහළින් දුරකතනයක් සොරාගෙන පැනයන්නකු බව තේරුම්ගත් අවට සිටි පිරිස් බුද්ධි අංශ නිලධාරියාද සමග සැකකරු පසුපස හඹා ගොස් ඔහුව අල්ලාගෙන ඇති බවද විමර්ශන අංශ වෙත මේ වනවිට හෙළි වී තිබේ.

 

ලසන්ත ඝාතනය කළ සැකකාර වෙඩික්කරු බව පැවසෙන මොහු හමුදා සේවයේ යෙදී සිටි බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වන අතරේ ඔහු ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ අයකු බවද විමර්ශන අංශ වෙත හෙළිව ඇතැයි වාර්තා වේ.



මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිකරු වැලිගම සිට එකම යතුරුපැදියේ නැගී පැමිණියත් අතරමගදී වෙඩික්කරු වෙනත් යතුරුපැදියක නැගී  පලාගිය බව CCTV සාක්ෂි මගින් කළින් හෙළිව තිබිණ.

එසේ එන අතරමගදී වෙඩික්කරු සිය බිරිඳව යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති බවත් මේ වනවිට විමර්ශන අංශ වෙත අනාවරණය වී ඇත.

ඔවුන් ඒ ආකාරයට වැල්ලවාය මහියංගනය පසුකරමින් කැකිරාව දක්වා පැමිණ ඇති බවද මේ වනවිට හෙළිව තිබේ.

ඒ එන අතරමගදී ලසන්ත ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පැදිකරු මහියංගනය ආසන්න පෙදෙසක සිය යතුරුපැදිය සඟවා තිදෙනාම වෙඩික්කරුගේ යතුරුපැදියේ නැගී කැකිරාව දක්වා පැමිණ ඇති බවද විමර්ශනවලින් හෙළිව ඇත.

එමෙන්ම වෙඩික්කරුට ඝාතන කොන්ත්‍රාත්තුව වශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 15න් ලක්ෂ 12ක මුදලක් වෙඩික්කරුගේ බිරිඳ සතුව තිබී විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇත.

මෙම ඝාතනයට අදාල විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලද අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් මගින් සඳහන් කර සිටින්නේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති අතර එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න