ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගනිමින් සමඟිව පක්ෂය ශක්තිමත් කිරීමට උත්සාහ කළද එය කොතරම් දුරට සාර්ථක වෙයිද යන්න ප්‍රශ්නයක් බව එම පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයකු newstube.lk වෙත පැවසීය.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (03) පක්ෂ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ කටයුත්තෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.
එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා දැක්වූ අදහසක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා ශ්‍රීලනිප මහ ලේකම්ධූරයෙන් ඉවත් කිරීම 16 කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් ලෙස ඩිලාන් මන්ත්‍රීවරයා සඳහන් කිරීම පක්ෂ සමඟිය කඩා ඉහිරවා දැමීමේ සහ පක්ෂය සමගි කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට අකුල් හෙළීමක් බවය.
පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම වෙනුවෙන් වන යෝජනාව පවා ඉදිරිපත් කරමින් පක්ෂයේ සමඟිය වෙනුවෙන් දුමින්ද අමාත්‍යවරයා කැපකිරීම් සිදුකරද්දී ඩිලාන් වැනි මහ මැතිවරණයකට ඉදිරිපත්වීමට නොහැකිව ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ශව දිගින් දිගටම ඔවුන්ට මාධ්‍ය හරහා චෝදනා කිරීම කණගාටුවට කරුණක් බවත් ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ පක්ෂයේ බලය නැවතත් මහින්ද රාජපක්ෂ වෙත සින්නක්කරව ලබාදීම බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

