බැඳුම්කර අල්ලස් ගැන බොරු ප්‍රචාර එපා - කතානායක

බැඳුම්කර අල්ලස් ගැන බොරු ප්‍රචාර එපා - කතානායක

බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව තම  හැඟීම බවත් අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුනු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව  බලවත් සංවේගයෙන් දන්වන බවත් කතානායකවරයා සඳහන් කර ඇත.

 ඊයේ (07) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා මේ බව සඳහන් කර ඇති අතර කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර ‍ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිලිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නෙමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිලිගත් මාධ්‍යයද ඇතුලුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද එහිදී සඳහන් කර ඇත.

බැඳුම්කර වාර්තාවලට ඇතුලත් විය යුතු සියළු අදාල ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින්  ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාල සියළු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් මා දැනුවත් කර ඇත. ‍එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.
අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහරු මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රිවරුනට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.
බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියළු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මා ආයාචනා කරමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න