කොරියානු විභාගය සමත් 10,000කට තවමත් රැකියා ලැබී නැහැ

 කොරියානු විභාගය සමත් 10,000කට තවමත් රැකියා ලැබී නැහැ

කොරියානු ජනරජය සමග බැදී ඇති Employment permit system (EPS) යටතේ වන ද්වි පාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවත්, මෙය 2026 මාර්තු මාසයේ සිට අලුත් වීම සිදු නොවන්නේ නම් මෙරට තරුණ තරුණියන් 10,000ක් පමණ අනාථ වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


ඔහු ඊයේ  (19) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ කොරියානු රැකියා ගැටලුව කෙරෙහි රජයේ අවධානය යොමු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පසුගිය වසර පහේ දි, කොරියානු ජනරජය ලබා දෙන රැකියා අවස්ථා අඩු වුණේ ඇයි...?

''ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ කෙරෙහි දායකවන වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රය යි. එහි දී කොරියානු රැකියාවලට සුවිශේෂී ස්ථානයක් හිමි වුවත් පසුගිය වසර කිහිපය තුළ කොරියානු ජනරජයේ විදේශ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් රැකියා සදහා අවස්ථාව නොලැබීම මත පොරොත්තු ලේඛනයේ රැදී සිටින තරුණ තරුණියන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය මත කොරියානු ජනරජය සමග බැදී ඇති Employment permit system (EPS) යටතේ වන ද්වි පාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය යි. මෙය 2026 මාර්තු මාසයේ සිට අලුත් වීම සිදු නොවන්නේ නම් මෙරට තරුණ තරුණියන් 10,000ක් පමණ අනාථ වෙනවා. ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදේශ රැකියා අවස්ථා ලබා දෙන රටවල් සංඛ්‍යාව, කොරියාවෙන් ලබා දෙන රැකියා අවස්ථා ප්‍රමාණය කාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන්න. කොරියානු ජනරජය ලබා දෙන රැකියා අවස්ථා පසුගිය වසර පහේ දි අඩු වෙලා නම් එයට හේතු ඉදිරිපත් කරන්න. වත්මන් රජය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන සභාගත කරන ලෙසට මම ඉල්ලා සිටිනවා.

විභාගය අවසන් කළත් රැකියා නොලැබුණේ ඇයි...?

කොරියානු ජනරජයේ රැකියා සදහා සුදුසුකම් සපයා ඇති වෙබ් අඩවියේ ලියාපදිංචි රැකියා අපේක්ෂකයින් වසර දෙකකින් පසුව ස්වයංක්‍රීයව ඉවත් වීමට සිදුවීමෙන් ලක්ෂ ගණනක් මුදල් වියදම් කර 10,000ක් පමණ තරුණ තරුණියන් පිරිසකට අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් ගත යුතු යි. මේ පොරොත්තු කාල සීමාව දීර්ඝ කර ගැනීම‌ට කටයුතු කළ යුතු යි. සමගි ජන බලවේගය ද කොරියානු තානාපතිවරිය සමග සාකච්ඡා පවත්වා කඩිනම් විසදුමක් ඉල්ලා සිටියා. රාජ්‍ය පාර්ශ්වයෙන් දැවැන්ත මැදිහත්වීමක් ද මෙහි දී අවශ්‍ය යි. කොරියානු ජනරජය හැර නව රැකියා වෙළෙදපොළවල් විවෘත කර ගැනීමට රජය ඉදිරිපත් කර ඇති ගිවිසුම් ඉදිරිපත් කරන්න. 2011 වසරේ ඉතාලි රජය සමග අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රකාරව 2014 වසරේ විභාගය අවසන් කළත් රැකියා සඳහා පිටත්ව යෑමට නොහැකි වූ අපේක්ෂකයින්ට අවස්ථාව නොලැබීමට හේතු ඉදිරිපත් කරන්න.''





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න