සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, මෙම රියඅනතුරට අදාළ නඩුව ලබන ජනවාරි 16 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇති බවයි.
'පොලිසිය රාජකාරි පැහැර හැරලා, පොලිස්පති නියමයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනයක්'
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල සම්බන්ධ රිය අනතුරේ දී සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සහ එම පොලිසිය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රාජකාරිය පැහැර හැරීමක් නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය (දෙසැම්බර් 18 වැනිදා) නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් එම රිය අනතුරේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් නිසි පරිදි රාජකාරිය සිදුකර ඇති දැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදු කරනු ලැබූ බවයි.
"එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරින් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත." යැයි එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සපුගස්කන්ද රිය අනතුර: 'මන්ත්‍රී රන්වලගේ රථයේ තිරිංග දෝෂයක්'
වාහන අනතුරක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල වෙත එල්ල වී ඇති චෝදනාවලට අමතරව තවත් චෝදනාවකට නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබිණ.
"වාහනය පරික්ෂා කිරීම එක්සැමිනර් ඔෆ් මෝටර් වෙහිකල් ලවා, අපිට වාර්තාව ලැබිලා තියෙනවා. ඒ වාර්තාව අනුව යම් කිසි යාන්ත්‍රික දෝෂයක් තිබිලා තියෙනවා. ඒ යාන්ත්‍රික දෝෂය නිසි පරිදි කළමණාකරණය කරලා නැති බවක් තමයි තියෙන්නේ. ඒකට විරුද්ධවත් අපි නඩු දාන්න කටයුතු කරනවා."
එම යාන්ත්‍රික දෝෂය, වාහනයේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබිණ.
දෙසැම්බර් 11 දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබිය.

