මින් ඉදිරියට මාලිමාවට ඡන්දය දීමට පෙර රහස් පද බිඳීමේ විශේෂඥයකු වන ඩාවින්චි කෝඩ් නවකතාවේ එන රොබට් ලැන්ග්ඩන් ලවා මාලිමාවේ මැතිවරණ තේමා පාඨයේ සැඟවුණු අර්ථය අසා ගත යුතු යැයි පිවිතුරු හෙල උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙල උරුමය පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ උදය ගම්මන්පිල...
දීස් ආ ඔෆ්කෝස් බිග් කුච්චන්ස්
''ගංජා වැවීම පිළිබඳ චෝදනා ලබා සිටින ශාන්ත පද්මකුමාර මන්ත්‍රිතුමා පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිදුවීම පිළිබඳ දෙපාර්ශවය කියන්නේ කතා දෙකක්. මන්ත්‍රිතුමා කියන විධියට පහර දීමක් සිදු වුණේ නෑ. පොලිස් නිලධාරියා ගේ නම තමන් විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීම සම්බන්ධයෙන් ඔහු තමන්ට බැණ වැදුණාම එතැන වචන හුවමාරුවක් පමණයි සිදුවුණේ. මේක මන්ත්‍රිතුමාට එරෙහිව කුමන්ත්‍රණයක්.
මුලින්ම ගංජා වගාව වැටලීමේ දී පොලිස් නිලධාරින් ඉඩමේ වැඩ කරන සේවකයින්ගෙන් කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනවා මේ ඉඩම කාගේ ද කියලා. එතකොට සේවකයින් කියනවා ශාන්ත මහත්තයා ගේ කියලා. ඒ කියන්නේ වත්තේ සේවකයින් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද...? ඊ ළඟට පහර කෑමට ලක් වුණ පොලිස් නිලධාරියා සූරියවැව රෝහලට ඇතුළත් කර ගත්තේ ඇයි? බරපතළ ගැටලුවක් නැතිනම් සූරියවැව රෝහලෙන් ඇඹිලිපිටිය රෝහලට මාරු කළේ ඇයි? ඒ කියන්නේ සූරියවැව රෝහලේ වෛද්‍යවරුන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද? ඊ ළඟට පහර දීමක් සිදුවෙලා නැති නම් ඇඹිලිපිටියේ වෛද්‍යවරු පොලිස් නිලධාරියාව රෝහලට ඇතුළත් කර ගත්තේ ඇයි? එහෙම නම් ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරුන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද? දීස් ආ ඔෆ්කෝස් බිග් කුච්චන්ස්.
“මල් පැළ හිටවමු” කියලා කියපු හේතුව
පාර්ලිමේන්තු මැතිවරණ සමයේ වල් පැළ ගලවා මල් පැළ හිටවමු කිව්වාම ජනතාව මීට වඩා ප්‍රවේශම් විය යුතුව තිබුණා. මොකද කොළු භාෂාවෙන් ගංජාවලට කියන්නේ මල් නෙ. දැන් බැලින්නම් “මල් පැළ හිටවමු” කියලා තිබෙන්නේ ගංජාකාරයින් පාර්ලිමේන්තු ගේමු කියන සාධාරණ සැකය දැන් අපිට ඇති වෙනවා. නම පොඩ්ඩක් බලන්න. ශාන්ත පද්මකුමාර. පද්ම කියන්නේ මලක් නෙ. පද්මකුමාර කියන්නේ මල් කුමාර කියන එකයි. ශාන්ත භාවය මනසට ගෙන එන මල ගංජා හැර වෙන කුමක්ද? මීට පස්සේ මාලිමාවට ඡන්දය දෙන්න කලින් රහස් පද බිඳීමේ විශේෂඥයෙක් වන ඩාවින්චි කෝඩ් නවකතාවේ එන රොබට් ලැන්ග්ඩන් ලවා මාලිමාවේ මැතිවරණ තේමා පාඨයේ සැඟවුණු අර්ථය අසා ගන්න ඕනෑ. නැතිනම් නැවත වතාවක් ජාතියට වරදීවි.
ආණ්ඩුවේ බයිට් එකට පොලිසිය...?
ඒ වගේම මේ ආණ්ඩුවේ බයිට් එකට පොලිසිය ගැනීමට එරෙහිව ජනතාව පෙළ ගැසෙන්න ඕනි. දැන් රන්වල මැතිතුමා වාහන අනතුරක් කළා ම අනතුර සිද්ධ කළ රන්වල මන්ත්‍රීතුමාට අධික රුධීර පීඩනය මහා බලගතු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩ්ඩක් රුධීර පීඩනය වැඩි වුණා ලු. රිය අනතුරක් සිදු වුණා ම වාහනයක් එළවන මේ හැමෝම දන්නවා. රිය අනතුරක් වුනාම එක පැත්තකින් තුන්වන පාර්ශවයකට තුවාලයි. තමන් දරුවෙක් වගේ බලා ගන්න වාහනයටත් හානි. නිකම්ම රැධීර පීඩනය වැඩි වෙනවා. හදගැස්ම වැඩි වෙනවා. එහෙම නොවන කෙනෙක් ඉන්නවා නම් එයා මනුස්සයෙක් වෙන්න බෑ. ඒක ඉතාම සාමන්‍ය දෙයක්. රන්වල මන්ත්‍රීවරයා දැන් සතියකට ආසන්න කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හැබැයි ඒ අවස්ථාව සම්බන්ධයෙන් වැරැද්ද කරපු මන්ත්‍රීවරයාට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. සපුගස්කන්දේ පොලිස් නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ. ඒ වගේම ශාන්ත කුමාර මන්ත්‍රිතුමාගේ කියන ගංජා වගාව වටලන්න ගිය පොලිස් නිලධාරින්ගෙන් එක් කෙනෙක් පහර කාලා රෝහලේ. තව කෙනෙකුට වහාම ස්ථාන මාරු.
මාලිමා නායකයෝ ශ්‍රී ලංකා පොලිසිය මාලිමා පොලිසිය බවට පත් කරලා
නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින්ට එරෙහිව මාලිමා මර්දනය මුලින්ම දියත් වුණේ 2025 ජූනි මාසයේ දී වැලිපැන්නේ පොලිසියෙන්. වැලිපැන්න පොලිසිය කසිප්පු වැටලීමක් කළාම ඒ අයව නිදහස් කරන්න කියලා මාලිමා මන්ත්‍රි සංජීව රණසිංහ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති චාමින්ද ද සිල්වාට දුරකතනයෙන් කතා කරලා දැනුම් දෙනවා. එතැනින් නවතින්නේ නැතිව දුරකතනය කසිප්පු වැටලීම කළ සාජන්ට්වරයාට දෙන්න කියලා එයාටත් බැණ වදිනවා. ස්ථානාධිපතිවරයා මේ සිද්ධිය පොලිස් පොතේ ලියලා සටහන් දාන්න සාජන්ට්වරයාටත් උපදෙස් දෙනවා. මේක ප්‍රසිද්ධියට පත් වුණාම මාලිමාව මොකද කරන්නේ? මන්ත්‍රිවරයාට දඬුවම් කරනවා ද? නෑ. වැලිපැන්න ස්ථානාධිපතිවරයාට ස්ථානධිපති ධූරයත් අහිමි කරලා ඇල්පිටිය පොලිසියට මාරු කරනවා.
අවාසනාවට දූෂණයට එරෙහිව සිවිල් සංවිධාන, විපක්ෂයේ මන්ත්‍රිවරුන්, ජනමාධ්‍ය මේ කවුරුවත් මේ අසාධාරණයට එරෙහිව හඬ නගන්නේ නෑ. ඒකෙන් දිරිමත් වුණු මාලිමා නායකයෝ ශ්‍රී ලංකා පොලිසිය මාලිමා පොලිසිය බවට පත් කරලා ඉවරයි. ඒ නිසා නීතිගරුක නිලධාරින් මාලිමාවෙන් බේරා ගන්න අපට මහජන පොලිසියක් පිහිටුවන්න සිද්ධ වෙනවා.
නලින්ද අමාත්‍යවරයා ගේ හතර බීරි කතා
කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ බාල ඖෂධ විස වීම නිසා රෝගින්ගේ ඇස් අන්ධ වුණා කියලා ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා. මම වගේම ජනාධිපතිතුමාත් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. එතුමා ඇමති මණ්ඩලයේ සිටිය දීම එතුමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා කැබිනට් ඇමති ධුරයක් දරමින් රක්ෂිත බන්ධනාගාර ගත වුණු පළමු ඇමතිවරයා ලෙස ඉතිහාසයට එකතු වුණා. දැන් බාල ඖෂධ නිසා රෝගීන් දෙදෙනකු මිය ගිහින්. මිය යෑමට හේතුව ලෙස හඳුනා ගෙන තිබෙන්නේ එන්නත් තුළ බැක්ටීරියා අඩංගු වීමයි. එදා ඇමතිවරයා වගකිවයුතු බවට ඇමතිවරයාට දඬුවම් කළ යුතු බවට රටට කියූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අද සෞඛ්‍ය ඇමති වෙලා කියනවා මේකට ඇමතිවරයා වගකිවයුතු නෑ කියලා. මේක හතර බීරි කතාවක්නෙ. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ. මාලිමාවට ඕනෑ විධියට නීතිය නවන්නේ නැතිව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පොලිසියට සහ නීතිපතිට ලැබුණු නිදහස නලින්ද ඇමතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමගෙන් ඉල්ලා සිටිනවා. බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, අසෝක රන්වල සහ සංජිව රණසිංහ යන මැති ඇමතිවරුන් රැක ගන්න නීතිය නැව්වා වගේ මේ අවස්ථාවේත් නීතිය නැමුවොත් ජනතාව ආණ්ඩුව අට පට්ටමක් වෙන තුරුම නවාවි කියන අනතුරු ඇඟවීම කරනවා.
ඉන්දියානු ගිවිසුම් තේරුම් ගන්නේ මෙහෙ යි
මේ සිදුවීම් දෙකේ අපූරු සමානකමක් තිබෙනවා. ඇමතිවරු දෙදෙනා යටතේ ම රෝගින්ට විෂ වෙන්නේ ඉන්දියානු බෙහෙත්. Indian Pharmacopeia Commission නැතිනම් ඉන්දියානු ඖෂධ සංග්‍රහ කොමිසම අනුමත කළ බෙහෙත්. ඒ අතරේ ලංකාව ඉන්දියානු ඖෂධ ප්‍රමිතියට ලංකාව තුළ පිළිගැනීමකට ලක් කරමින් 2025 අප්‍රේල් 5වන දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒ හරහා බ්‍රිතාන්‍ය ප්‍රමිතිය, ඇමෙරිකානු ප්‍රමිතිය සහ යුරෝපීය ප්‍රමිතියට අමතරව ඉන්දියානු ප්‍රමිතියත් ඖෂධ සම්බන්ධයෙන් ලංකාවේ පිළිගැනීමට ලක් වෙනවා. එතකොට ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයා ඒ රටෙන් ඉදිරිපත් කරන සහතිකය ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය පිළිගත යුතු වෙනවා. ඉන්දියානු බාල බෙහෙත් බීලා රෝගින් මිය යන අතරේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම රටට මාරාන්තිකයි.
මේ ගිවිසුම අබිරහසක් වෙලා තිබුණේ. “ඉන්දියානු හොර ගිවිසුම් හෙළි කරනු” කියලා පාර පුරා තාප්ප පුරා සටන් පාඨ ලියූ මාලිමාව විසින්ම ඉන්දියාව එක්ක ගිවිසුම් හතක් අත්සන් කරලා රහසේ සඟවා ගෙන ඉන්නවා. ආණ්ඩුව තමන් අත්සන් කළේ රටට වාසිදායක ගිවිසුමක් නම් අත්සනේ තීන්ත වේළෙන්නත් කලින් ප්‍රසිද්ධ කරනවා. මේ ගිවිසුම් රටට හානිදායක නිසා තමයි ආණ්ඩුව හංගන්නේ. ආණ්ඩුවක් නොවේ පුංචි දරුවොත් එහෙමයි. දරුවා පන්තියේ පළමු වෙනියා වුණා නම් අම්මා අහන්නත් කලින් දුවගෙන ඇවිත් ප්‍රගති වාර්තාව පෙන්වන්නේ. විෂයන් ඔක්කෝම අසමත් වුණොත් ප්‍රගති වාර්තාව ගඟේ යනවා. කීයටවත් පෙන්වන්නේ නෑ. අපි ඉන්දියානු ගිවිසුම් තේරුම් ගන්න ඕනි එහෙමයි.
මිත්‍රකම රැක ගැනීම වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිලි දෙන්න එපා
මේ සඟවා ගෙන සිටින ගිවිසුම්වලින් තුනක්, මම ප්‍රසිද්ධ කළා. නමුත් ඒවායේ රටට තිබෙන හානි මම විතරයි කතා කළේ. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සෞඛ්‍ය ගිවිසුම ප්‍රසිද්ධ කර තිබෙනවා. නමුත් ඒ ගැන සමාජ සංවාදයක් නෑ. ඉන්දියාව තරහා වේවි කියන බයට වෙන්නැති. ඉන්දියාව මායිමේ සිටින අපේ එකම අසල්වැසියා. නැගී එන ලෝක බලවතෙක්. ඉන්දියාව සමග සුහදශීලි සම්බන්ධයෙන් පවත්වා ගැනීම ලංකාවට වැදගත්. මේ ඔක්කෝම ඇත්ත. අපිත් ඉන්දියාව සමග සුහදව ගනුදෙනු කරලා තිබෙනවා. නමුත් මිත්‍රකම රැක ගැනීම වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිලි දෙන්න බෑ. අපට අසල්වැසි මිත්‍රත්තවයට වඩා ජනතාවගේ ජීවිත ලොකු වෙන්න ඕනි. ඒ නිසා මාරාන්තික ඖෂධ ඉන්දියාවේ අනුමත වුණේ කොහොමද කියන එක පිළිබඳ විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් වහාම සංවාදයක් ඇරඹීම ජාතික අවශ්‍යතාවයක්.''

