9 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න නොහැකි බවත් ඒ මත ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිර යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිළ සඳහන් කරයි.
ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙන බවත් එවිට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා වගේ ගෝඨාභයට ජනපතිකමයි ඇමෙරිකානු පුරවැසිකමයි දෙකම නැති වෙන අදහසක් පුවත්පත් වලට ලිපි ලියන ඩොලර් පවුම් විද්වතුන් ප්‍රචාරය කරන බවද ඔහු පවසා ඇත.
ඒ හේතුවෙන් ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්ත්වය රටට පැහැදිලි කරන ලෙස ගෝඨාභය මැතිතුමා තමාගෙන් ඉල්ලා සිටි බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
ඊයේ (11) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකල අතර එහිදී ඔහු මෙසේද පැවසීය.
"මුලින්ම කියන්න ඕනෑ ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම ඇමෙරිකාවට නුහුරු දෙයක් නොවේ. විවිධ හේතු මත සෑම වසරකම 5,000ක් වැනි විශාල පිරිසක් ඇමෙරිකානු පුරවැසිකම අත් හරිනවා.
ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි Immigration and Nationality Act of 1952 නොහොත් 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත. මේ පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්. දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ. පුරවැසියා කැමති නම් අත් හරින්න පුළුවන්. පුරවැසිකම අත්හැරීම ප්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නඩු තීන්දු වලින් තීරණය වී තිබෙනවා.
පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි. දෙවන කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත් හැරීමේ ප්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත් හැරෙන බවයි.
තානාපති කාර්යාලයේ දී පුරවැසිකම අත්හැරීමේ ලේඛණයට තානාපති කාර්යාලයේ නිලධාරියා සහ සාක්ෂිකරුවන් ඉදිරිපිට අත්සන් තැබුවාම ඒ මොහොතේ සිට පුරවැසිකම අවසන් වෙනවා. ඒ බව සහතික කරලා ඩීඑස් 4083 කියන මෙන්න මේ ලේඛණය ලබා දෙනවා. ඒකට තමයි පුරවැසිකම අත්හැරීමේ සහතිකය කියන්නේ. රියදුරු බලපත්‍රය ලැබෙන තුරු දෙන තාවකාලික රියදුරු බලපත්‍රය වගේ, රක්ෂණ සහතිකය ලැබෙන තුරු දෙන තාවකාලික රක්ෂණ ආවරණය වගේ මේ සහතිකය තාවකාලිකයි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකයක් නිකුත් කරන තෙක් මෙම ලේඛණය වලංගුයි.
අවසාන පියවර වන්නේ අවසාන බදු වාර්තාව ගොනු කළ දිනයේ සිට පුරවැසිකම අත් හරින දිනය තෙක් වූ කාලයට අදාළ බදු වාර්තාව ගොනු කිරීමයි. ඊට පස්සේ මාස දෙකක් සහ හයක් ඇතුලත පුරවැසිකම අත් හැරීමේ ස්ථිර සහතිකය නිකුත් කරනවා.

