ගල් අඟුරු අර්බුදයට ඇමති සහ ලේකම් වගකිව යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

ගල් අඟුරු අර්බුදයට ඇමති සහ ලේකම් වගකිව යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ස්වාධීන වෘත්තීය සමිති එකතුව කොළඹ නිපෝන් හෝටලයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ රජිත් කීර්ති තෙන්නකෝන්...

ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තා නැහැ

''නොරෙච්චෝල විදුලි බලාගාරය සඳහා මේ වසරේ ගල්අඟුරු ඇණවුමෙන් නැව් 2ක් මේ වන විට රටට පැමිණ අති අතර, තවත් නැව් තුනක් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. මේ වසර පුරා අඛණ්ඩ විදුලිය සැපයීමකට නම්, නිසි කලට රටට ගල් අඟුරු ලබා ගත යුතු යි. මේ දක්වාම රජය ට ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට හැකිවී නැහැ. ඒ නිසා ම සමාගම් සඳහා මුදල් ගෙවීමක් ද සිදුව නැහැ. සමස්ත ටෙන්ඩරය ගැන බලවත් උගතෝකොටිකයක් මේ වන විට පැන නැගී තිබෙනවා. ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විපක්ෂය ප්‍රශ්න කර තිබෙනවා. විවිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ගල් අඟුරු සමාගම මේ දක්වාම ප්‍රතිචාරයක් දක්වා නැහැ. විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි.

දහන අගය පිළිබඳ සහතිකයක් නැහැ

මිලදී ගනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතිය සහතික කිරීම බලශක්ති අමාත්‍යාංශයේ වගකීමක්. අවිධිමත් ආකාරයට නිසි තාක්ෂණික උපකරණයක් හෝ නොමැතිව ටෙන්ඩර් ගිවිසුමට පටහැනිව, නොරොච්චෝල දී ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂාකර ඇති නමුත් එහි වගකීම කිසිදු බලධරයෙකු නිල වශයෙන් බාර ගෙන නැහැ. පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙතින් ප්‍රමිතිය පරීක්ෂා කර, දහන අගය පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට ද රජය අසමත් ව තිබෙනවා. අමාත්‍යාංශයේ අසමත්බව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දැනටමත් නොරොච්චෝල විදුලි බලාගාරයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වන තත්ත්වයක් මතුව තිබෙනවා. රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 1/3 ක් සපයන්නේ ගල් අඟුරු මගින්. වසර පුරා අඛණ්ඩව විදුලිය සැපයීම නම් නිසි කලට නිසි ප්‍රමිතියක් සහිත ගල් අඟුරු අඛණ්ඩ සැපයීම සිදු කළ යුතු යි. මේ වන විටත් එය ඉටු කර ගැනීමට රජයට හැකිව නැත.

විදුලිය කප්පාදු කරයි ද...?

නිසි කාල වකවානුවක් තුළ ගල් අඟුරු සැපයීම තුළින් විදුලිය සැපයීම විදුලිබල අමාත්‍යාංශයේ සහ ගල් අඟුරු සමාගමේ වගකීමක්. රජය ගල් අගුරු ප්‍රශ්නය විසඳීම වෙනුවට ප්‍රශ්න මගහැර යෑම බලශක්ති අර්බුදයකට හේතු විය හැකි යි. යම් ලෙසකින් රජයට නිසි කලට ප්‍රමිතියක් සහිත ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වන්නේ නම් නොරොච්චෝල කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගයක්. අනිවාර්යයෙන්ම එය විදුලි කප්පාදුවකට හේතුවිය හැකි යි. එවැනි තත්ත්වයක් වළක්වා බලශක්ති අවශ්‍යතාව ස්ථාවර කර ගැනීම රජයේ වගකීමක්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න